Home Main news ලසන්ත ඝාතනයට අවුරුදු15යි-ඝාතකයන් තවමත් නිදැල්ලේ

ලසන්ත ඝාතනයට අවුරුදු15යි-ඝාතකයන් තවමත් නිදැල්ලේ

0

(ජනක බලල්ල)

ප්‍රවීන මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා අමානුසික ලෙස ඝාතන කර වසර 15ක් ගතවීම සිහිපත් කරමින් ඔහුගේ ඥාති හිත මිත්‍රාදීන් අද (ජනවාරි08) බොරැල්ල කනත්තට එක්වීය.

2009 වසරේ රත්මලාන අත්හිඩිය ප්‍රදේශයේ දී සිදු වූ මෙම ඝාතනයට එවක රාජ්‍ය පාලනය කළ රාජපක්ෂවරු සම්බන්ධ බවට රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛව පැවැති එවක විපක්ෂයේ ඇතැමුන්ගෙන් චෝදනා එල්ල වී තිබිණි. 2015 වසරේ දී ඔවුන් ‘යහපාලන ආණ්ඩුව’ ලෙස බලයට පැමිණි අතර, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන්වීම ආදී සිද්ධි ඒ දිනවල ඔවුන්ගේ ප්‍රධාන සටන් පාඨ බවට පත්ව තිබිණි.

යහපාලන ආණ්ඩුව පත්වීමෙන් ටික කලකට පසු, එනම් 2016 සැප්තැම්බර් 27 වැනි දා ලසන්තගේ දේහය ගොඩගෙන යළ පරීක්ෂණ සිදුකළ අතර, එහි දී එම මරණය සිදුව ඇත්තේ වෙඩි තැබීමක් නොව විශේෂ අවියකින් හිසට කළ පහරදීමකින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2017 මාර්තු 20 වැනි දා අධිකරණයට පවසන ලදී. තවද, ලසන්තගේ ඝාතනයට පෙර දින ඔහුගේ කාර්යාලය අසල යුද්ධ හමුදා බුද්ධි අංශ සාමාජිකයන් ගැවසුණු බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබිණි. එම ඝාතනයට අදාළව පරීක්ෂණ වෙනුවෙන් 950 දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් ඉන් 295 දෙනෙකු යුද්ධ හමුදා බුද්ධි අංශ සාමාජිකයන් බවත් 2018 ජනවාරි 18 වැනි දා ඔවුන් අධිකරණයට වාර්ථා කර තිබිණි. එසේම, ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ එවක අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි තිස්ස සුගතපාල යන අය ලසන්ත ඝාතනයේ සාක්ෂි වසන් කළ බවට චෝදනා කර 2018 පෙබරවාරි 02 වැනි දා අත්අඩංගුවට ගෙන තිබිණි.

කෙසේ වෙතත් යහපාලන ආණ්ඩුව පෙරළි යළි රාජපක්ෂවරු බලයට පැමිණෙන තුරු ලසන්තගේ ඝාතනය පිළිබඳ නඩු කටයුතු අවසන් නොවුණු අතර, ඉන් අනතුරුව ඒ පිළිබඳ කතාබහ සිදුවන්නේ ද බොහෝවිට ජනවාරි මාසයේ මුල් සතිය තුළ වීම ද විශේෂත්වයකි.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version