Home Uncategorized දේවගැති ජෙරම් ප්‍රනාන්දු 13 තෙක් රිමාන්ඩ්

දේවගැති ජෙරම් ප්‍රනාන්දු 13 තෙක් රිමාන්ඩ්

0

(ජනක බලල්ල)

දේවගැති ජෙරම් ප්‍රනාන්දු ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද(01) නියෝග කර ඇත.

ඒ, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අද (01) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීමෙන් පසුවයි.

බුදුදහම ඇතුළු ආගම්වලට අපහාස කළැයි දේවගැතිවරයාට චෝදනා එල්ල වී තිබුණු අතර, ඊට බලපෑ ආසන්නතම හේතු වූයේ 2023-04-29 දින ඔහු පැවැත්වූ දේව මෙහෙයක වීඩියෝවක් සමාජ ජාලා තුළ සීඝ්‍ර ලෙස සංසරණය වීම සහ ඒ පිළිබඳ ජනතාව තුළ දැඩි කථා බහට ලක්ව තිබීමයි.

ඒත් සමග ඔහු දිවයිනෙන් පිටව ගොස් සිටි අතර, ඔහු යළි දිවයිනට පැමිණෙන අවස්ථාවේදී ගුවන් තොටුපළින් අත්අඩංගුවට නොගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් ඉකුත් නොවැම්බර් 17 දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කර තිබිණි. එහෙත් ඔහු දිවයිනට පැමිණ පැය 48ක් ඇතුළත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් වන ලෙස ද නියෝගයේ සඳහන් වී තිබිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය (ICCPR) සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ජෙරම් ප්‍රනාන්දුට එරෙහිව විමර්ශන ආරම්භ කරනු ලැබ තිබිණි.

කෙසේ වෙතත් චෝදනා එල්ල වූ දේවගැති ජෙරම් ප්‍රනාන්දු මාස කිහිපයක් විදේශගත ව සිට පසුගිය 29 වැනි බදාදා යළි දිවයිනට පැමිණි අතර, එහි දී ඔහු අත්අඩංගුවට ගෙන නොතිබිණි.

පසුව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අද(01) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඔහු කැඳවා තිබුණු අතර, එහි දී දේවගැතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.

ඒ අනුව අත්අඩංගුවට ගත් දේවගැතිවරයා කොටුව මහේස්ත්‍රාත් අධිකරණ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සැකකාර ජෙරම් ප්‍රනාන්දු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ පෙනී සිටින පෙනී සිටි අතර, නීතීඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දී ඇත්තේ 2023-04-29 දින පැවැත්වූ දේව මෙහෙයේ දී කළ දේශනයේ එක වචනයක් වත් බුදුන් වහන්සේට, බුදු දහමට, ඉස්ලාම් දහමට, හින්දු දහමට නිගා වන ආකාරයට සිදු කර නොමැති බැවින් ඔහුට ඇප ලබා දෙන ලෙසයි.

කෙසේ වෙතත් මේ පිළිබඳ පරීක්ෂණ අවසන් නොමැති නිසාත් ICCPR පනතේ 3/1 වගන්තිය යටතේ ප්‍රමාණවත් කරුණු අධිකරණයට ඉදිරිපත් කර තිබෙන නිසාත් සැකකරුට ඇප ලබා දීමෙන් එය නීතියේ ආධිපත්‍යයට පහරක් වනු ඇති බවත් සඳහන් කරමින් විනිසුරුවරයා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version