Saturday, February 24, 2024
HomeMain newsමර්දනකාරී රාජ්‍ය පනතක් වෙනුවට 'සහනියාමන' පනතක් අවශ්‍යයි.

මර්දනකාරී රාජ්‍ය පනතක් වෙනුවට ‘සහනියාමන’ පනතක් අවශ්‍යයි.

ජනමාධ්‍ය මර්දනය සඳහා රජය මගින් ගෙන ඒමට නියමිත මෙම විද්‍යුත් විකාශන නියාමන පනත තවත් එක් රාජ්‍ය නියාමන පනතක් වීමට වඩා ‘සහනියාමන’ පනතක් විය යුතු බව එක්සත් ජනරජ පෙරමුණ පවසයි.
රජය මගින් ගෙන ඒමට නියමිත විද්‍යුත් විකාශන නියාමන පනත පිළිබඳ එක්සත් ජනරජ පෙරමුණෙ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ අද (09) දින පවත්වන ලද පවත්වන ලද මාධ්‍ය හමුවේදී මෙම අදහස් පලවිය.
මෙම මාධ්‍ය හමුව සඳහා එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩල සභාපති හිටපු ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන මහතා, මාධ්‍යවේදී කේ.සංජිව මහතා, නීති ශිෂ්‍ය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනි භාග්‍යා වීරකෝන් හා නීතිඥ මහේෂ් කාංචන ද සිල්වා මහතා එක්විය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කරු පරණවිතාන මහතා;
“යෝජිත විද්‍යුත් විකාශන නියාමන පනත් කෙටුම්පත 2022 වසරේ ජනමාධ්‍ය අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු පත්‍රිකාවකින්, කැබිනට් අනු කමිටුව කෙටුම්පතක් හදලා එය මාධ්‍ය ආයතන වලට යවලා. ඒ අනුව තමයි මේ කතාබහ ඇතිවෙලා තිබෙන්නේ. ජනමාධ්‍යට විශේෂ නියාමනයක් අවශ්‍ය නැහැ. තිබිය යුත්තේ ස්වයං නියාම පමණයි කියන අදහස කාලාන්තරයක් තිස්සේ මේ ජනමාධ්‍යකරුවෝ ඇතුලේ, ආයතනයක් අතරේ, විෂය ඇතුලේ කතාවෙච්ච අදහසක්. නමුත් අද මුළු ලෝකෙම ස්වයං නියාමනය සිද්ධ වෙන්නෙත් නැහැ. හැම තැනකම දියුණු රටවල, නොදියුණු රටවල, ඕනම රටක මේ ජනමාධ්‍ය ආචාරධර්ම දේශපාලන, ආර්ථික මට්ටමින් උල්ලංඝනය වෙනවා. එම නිසා, නීතියෙන් බලගැන්වෙන නියාමනයක් තියෙන්න ඕනේ කියන අදහසට, මුළු ලෝකයම ඇවිල්ලා තියෙනවා. ඒ නීතියෙන් බලගැන්වෙන නියාමනය, අත්තනෝමතික නීතියක් යටතේ සිද්ධ වෙනවා නම් ජනමාධ්‍ය නිදහස උල්ලංඝනය වෙන්න පුළුවන්. ඉතාමත්ම හොඳ වැඩක් කිරීමේ මුවාවෙන් ඉතාම දැඩි මර්දනකාරී පනතක් ඇවිල්ලා තිබෙනවා. එම නිසා මේ පනත වහාම අකුලාගෙන ඉවර වෙලා සියලු දෙනාගේම සහභාගීත්වයෙන් යුතුව, හැමදෙනාගේම අදහස් විමසලා ලෝකයේ අද පිළිගන්නා ප්‍රජාතන්ත්‍රවාදී සහනියාමන මූලධර්ම මත හොඳ ප්‍රජාතන්ත්‍රවාදී පනතක් ඉදිරිපත් කරන්න කියලා අපි ආණ්ඩුවට යෝජනා කරනවා.”
මෙම පනත පිළිබඳව ආන්දෝලනයක් ඇතිවන තාක් මාධ්‍යවේදීන් මේ පිළිබඳව දැන නොසිටි බව මේ හා සම්බන්ද වූ මාධ්‍යවේදී කේ. සංජිව මහතා පවසා සිටි. එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවා සිටියේ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ තවත් රජය මර්දනකාරී පනත් ගොන්නට මෙයත් එක්වන බවයි.
“නියාමනයක් අවශ්‍යයි. ඇයි අපි නියාමනයක් අවශ්‍යයි කියලා කියන්නේ? පහුගිය කාලේ විශාල ප්‍රශ්නයක් තිබුණා කැළණියේ නයි ගැන කාන්තාවන් වඳභාවයට පත් කිරීම ගැන මාධ්‍ය වාර්තාකරණය හසුරූ ආකාරය ගැන. විශේෂයෙන්ම මාධ්‍ය ආචාරධර්ම අනුව ජනමාධ්‍ය භාවිතාවක යෙදෙන මාධ්‍යවේදීන් සෑහෙන්න අපහසුතාවයට පත්වුණා. මාධ්‍ය කියන්නෙත් බිස්නස් එකක්. හැබැයි මාධ්‍ය කියලා කියන්නේ ලැවරිය බිස්නස් එක වගේ එකක් නෙමෙයි. නියාමනය ගත්තහම ක්‍රම දෙකක් තියෙනවා. සංඛ්‍යාත දෙන විදිය හා ලයිසන් එක. ලයිසන් එක, සංඛ්‍යාත කියලා කියන්නේ මහජනතාවගේ දේපලක්. එතකොට ඒක අනිවාර්යයෙන්ම නියාමනය වෙන්න ඕනේ. ඒ සඳහා නිර්මාණය කරන නියාමන ආකෘතිය ජනමාධ්‍ය අමාත්‍යංශය, මාධ්‍යවේදීන්, සමාජය වැනි සියලු දෙනා එකතුවෙලා සිදුකරන දෙයක් විය යුතුයි”
ඉන් අනතුරුව අදහස් දක්වා සිටි නීති ශිෂ්‍ය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනි භාග්‍යා වීරකෝන් දැක්වූ අදහස් මෙසේයි..
“රජයකට යම්කිසි වගකීමක් තියෙනවා මාධ්‍ය ආයතනය සම්බන්ධයෙන්. ඒ භූමිකාව ඇතුළේ සියලු පාර්ශ එකතු වෙලා, සීමිත පිරිසක් විසින් ගන්න තීරණ නෙවෙයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්, සිවිල් ක්‍රියාකාරීන්, මේ ක්ෂේත්‍රය පිළිබඳ විශේෂඥයින්, මාධ්‍ය ආයතන ප්‍රධානීන්, මාධ්‍යවේදීන් වගේ හැම පිරිසක්ම ඒකරාශී කරගෙන මේ නියාමනයන් සම්බන්ධයෙන් මැදිහත් වෙන්නට අවශ්‍යයි. අපි මේ පනත් කෙටුම්පත ගැන පොඩ්ඩක් විමසලා බැලුවොත් පංච පුද්ගල කොමිසමක් පත් කරනවා. මේකෙදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියත් ඇතුව ජනාධිපතිවරයා විසින් සාමාජිකයන් තුන් දෙනෙක් පත් කරනවා. ඊට අමතරව නිල නොවන සාමාජිකයන් දෙන්නෙකුත් ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබනවා. මේක හරියට බැලුවොත් හොඳට කල්පනා කරලා බැලුවොත් මේ පස්දෙනාම පත්කරන්නේ ජනාධිපතිවරයාගේ පත්වීම් සහ ඔවුන් විෂමාචාරය මත පදනම් වෙලා ඔවුන්ව ඉවත් කරන්න ජනාධිපතිවරයාට බලයක් මේකෙන් ලබාදීලා තියෙනවා. ඒ අනුව මෙම කමිටුවේ සාමජිකත්වය දේශපාලනීකරණය වෙලා කියලා අපි කියනවා”
තවද මෙම විද්‍යුත් විකාශන නියාමන පනත පිළිබඳව නීතිමය පැතිකඩ හා පක්ෂයේ මේ සම්බන්ධ යෝජනා පිළිබඳව නීතිඥ මහේෂ් කාංචන ද සිල්වා මහතා අදහස් දක්වා සිටියේය.
“මේක නියාමනය නෙවෙයි. මේ මර්දනය. නියාමනය මුවාවෙන් මේ මර්දනය ගේන්න හදන්නේ. දැන් මේ අලුත් පනත ගැන නීතියත් යුක්තියත් හැමතිස්සෙම එක මග යන්නේ නැහැ. ඒ නිසා බොහෝ ජනතාවට එරෙහි අනර්ථකාරී පනත් පාර්ලිමේන්තුව තුළ සම්මත කරගැනීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා දැන් අද පවතින තත්වය අනුව තුනෙන් දෙකේ බහුතරයක් හොයා ගැනීම මේ ආණ්ඩුවට එච්චරම අමාරු වෙන එකක් නැහැ. ඒ නිසා පුරවැසියෝ විදිහට අපි උත්සාහ කරන්න ඕනේ මේක මුල් අවස්ථාවේ මේ තියෙන අනර්ථකාරී තත්වය පැහැදිලි කරලා මෙය පරාජය කරන්න. මේ කොමිසම ස්වාධීන කරන්න මේ තත්වයන් අපි මූලිකවම යෝජනාවක් විදියට කියනවා. දේශපාලන හිතවත්කම් තියෙන, තමන්ට හිතවත්, ඕන කෙනෙක් මේ ආකාරයට පත් කරන්න පුළුවන්. නමුත් අපි කියන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පුළුවන් නියම ආයතන අපේක්ෂකයන් එහෙම නැත්නම් ඉල්ලුම් පත්‍ර කැඳවන්න සාමාජිකත්වයට. මෙවැනි අත්තනෝමතික තීරණ වලින් බැහැරව නිසි නියාමන ආයතනයක් බිහි කරන්න කියලා අපි කියන්නේ.”

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments