අරගලයේ දෙවන බිල්ල ගම්පහෙන්

Spread the love

අරගලකරුවන් බිලී බාන්න ගිය යක්පොකල පොලිසියේ කුරුමානම වරදී

(ජනක බලල්ල)

ගාලුමුවදොර අරගල භූමියේ ක්‍රීයාකාරී තරුණයකු යක්කල පොලිසිය මගින් වැරැදි ලෙස අත්අඩංගුවට ගෙන පැය 24කට වඩා කාලයක් තිස්සේ අයුතු ලෙස රඳවා තබා ගනිමින් පහර දී ඇතැයි නීතීඥවරු පවසති.

මෙම අසාධාරණයට ලක්ව ඇත්තේ පන්නල ප්‍රදේශයේ පදිංචි සමන් කුමාර රණතිලක නම් තරුණයෙකි.

මෙම තරුණයා ගෝඨාගෝ ගම අරගල භූමිය නිර්මාණය කිරීමට මූලික වූ තරුණයන් කිහිප දෙනාගෙන් අයකු බවද පැවසේ.

ගංජා පැළ 10ක් ළඟ තබා ගත් තැනැත්තකු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අව්‍යශ බව පවසා අදාළ තරුණයා  යක්කල පොලිසිය විසින් ඊයේ(02) කැඳවනු ලැබ තිබේ.

එම කැඳවීමට අනුව අදාළ ප්‍රකාශය ලබා දීමේ අරමුණ ඇතිව සමන් කුමාර නීතීඥ රොෂාන් කහටපිටිය සමග යක්කල පොලිසියට ඊයේ පෙරවරු 11ට පමණ ඉදිරිපත් වී ඇත.

කෙසේ වෙතත් එලෙස ඉදිරිපත් වූ තරුණයා යක්කල පොලිසියේ අපරාධ විමර්ෂණ ඒකකයේ ස්ථානාධිපතිවරයා විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුව ”උඹ අපි හොය හොය හිටිය එකා. උඹ නේද ගෝල්ෆේස් එකේ වොයිස් කට් දිදී මේක අවුස්සන්නේ” යනුවෙන් පවසමින් ඔහුට අමානුසික ලෙස පහර දී ඇති බව නීතීඥවරු පවසති.

මේ සම්බන්ධයෙන් අදාළ තරුණයා විසින් නීතීඥ උදුල් ප්‍රේමරත්න මහතා වෙත ඊයේ දිනයේ දීම දැනුවත් කර ඇති අතර, නීතීඥවරයා කළ විමසීමක දී යක්කල පොලිසිය පවසා ඇත්තේ අදාළ තරුණයා කටඋත්තරයක් ලබා ගැනීමට ඇති අතර, ලොකු ගුටලුවක් නැති බවයි.

එහෙත් අද(03) දහවල් වනවිට නීතීඥවරුන් වෙත වාර්තා වී ඇත්තේ සමන් කුමාර තරුණයා සහ අනෙක් සැකකරු විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ පනතේ 54 වගන්තිය ප්‍රකාරව ‘බී’ වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

එම පුවත සමාජමාධ්‍ය මගින් සමාජගත වූ අතර, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ මැදිහත්වීමෙන් නීතීඥවරු බොහෝ පිරිසක් මෙන්ම සිවිල් ජනතාව ද  ගම්පහ අධිකරණයට රැස්වන්නට පටන් ගෙන ඇත.

පසුව පොලිසිය මගින් අන්තරාදායක ඖෂධ පනතේ 78/5 වගන්තිය යටතේ අධිකරණයට කරුණු වාර්තා කරමින් ග්‍රෑම් 210ක් බරැති ගංජා පැළ 10ක් සන්තකයේ තබා ගත් බවට සැකපිට ‘බී’ අංක 1021/22 යටතේ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ ඇත.

ඒ අනුව ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රසන්න රණවක මහතා විසින් සැකකරු රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස නියෝග කරනු ලැබ තිබේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වූ නීතීඥ උදුල් ප්‍රේමරත්න මහතා පවසන්නේ අදාළ නොවන වරදකට පටලවමින් මෙම තරුණයා වැරැදි ලෙස අත්අඩංගුවට ගෙන ඇති බවත්, පොලිසිය භාරයේ සිටි කාලය අතරතුර අමානුෂික ලෙස ඔහුට පහර දී ඇති බවත්, පැය 24කට වඩා කාලයක් අධිකරණයට ඉදිරිපත් නොකර අයුතු ලෙස රඳවා තබා ගෙන ඇති බවත් ය. එමනිසා සමන්කුමාර තරුණයාට සිදුව ඇති මූලික අයිතිවාසිකම් උල්ලංගනය වීම පිළිබඳ නඩු පවරන බව ද නීතීඥවරයා වැඩිදුරටත් පවසයි.

මේ අතර වැඩිදරටත් වාර්තා වන්නේ යක්කල පොලිසියේ අපරාධ විමර්ෂණ අංශ ස්ථානාධිපතිවරයා විසින් මෙම තරුණයා අත්අඩංගුවට ගෙන 54 වගන්තිය යටතේ නඩු පවරා මාස කිහිපයක් රක්ෂිත බන්ධනාගාරයේ තබා ගෝඨා ගෝ ගම අරගල භූමියේ ක්‍රියාකාරීත්වය අඩාල කිරීමට සැලසුම් සහතව මැදිහත්ව කටයුතු කරනු ලැබ ඇති බවයි.

එසේම මෙකී කුමන්ත්‍රණය පිටුපස විෂය භාර ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සිටින බවට අරගලකරුවෝ සහ නීතීඥ ප්‍රජාව චෝදනා කරති.