Spread the love

(ජනක බලල්ල)

වැඩි වූ ඉන්ධන මිලට එරෙහිව රඹුක්කන නගරයේ විරෝධතාවයේ නිරත වූ සිවිල් වැසියන් විසුරුවා හැරීමට පොලීසිය කළ වෙඩි තැබීමක් එක් අයකු ජීවිතක්ෂයට පත්ව, තවත් පිරිසක් රෝහල් ගතකර තිබේ.

විරෝධතාකරුවන් විසින් රඹුක්කන නගරයේ සියලු පිවිසුම් මාර්ග සහ දුම්රිය හරස් මාර්ගය ද  අවහිර කරන ලද අතර, උඩරට දුම්රිය ධාවනයට ද එයින් බාධා ඇති ව තිබිණි.

විරෝධතාවයට සහාය දෙමින් නගරයේ සියලු වෙළෙඳසැල් වසා දැමීමට නගර වැසියෝ කටයුතු කර තිබුණු බව ද වාර්තා වෙයි.

විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ අතර, පසුව වෙඩි ප්‍රහාරයක් ද එල්ල කර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සිද්ධය පිළිබඳ සංඛ්‍යා දත්ත ඉදිරිපත් කරමින් යම් ප්‍රකාශයක් සිදුකර තිබුණත්, මේ වනතෙක් ආණ්ඩුව හෝ විෂය භාර ඇමැති ප්‍රසන්න රණතුංග මෙම වෙඩි තැබීම පිළිබඳ පැහැදිළි කිරීමක් සිදුකර නොමැති වීම ද විශේෂත්වයකි.