[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

ETI සැකකරුවෝ 4ට ඇප – තැම්පත්කරුවෝ නොසන්සුන් (Video)

-

Spread the love

දිලීප පීරිස්ගෙන් දුර්වල කරුණු දැක්වීමක්…

තැම්පත්කරුවන් අමාරුවේ වැටුණේ මහබැංකුවේ වැරැදි තීරණයක් නිසා…

සමාගම් විකුණලත් තැම්පත්කරුවන්ට මුදල් වෙනුවට පොළිය ගෙවලා…

(ජනක බලල්ල)

CID අත්අඩංගුවට පත් ETI අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් සිව්දෙනා ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද(06) සවස නියෝග කළේය.

EIT සහ ස්වර්ණමහල් ආයතනවලින් නීති විරෝධිව ජනතා මුදල් එක්කර ඒවා අවභාවිත කළ බවට චෝදනා ලැබ සිටි එම ආයතනවල අධ්‍යක්ෂවරුන් වන පිළිවෙළින් 01. ජීවක එදිරිසිංහ, 02. අන්ජලී එදිරිසිංහ, 03 නාලක එදිරිසිංහ සහ 04. අසංක එදිරිසිංහ යන සැකකරුවන් නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබිණි. ඉන් පළමු, දෙවන සහ සිව්වන සැකකරුවන් අඟවරුවාදා(05) සවස අත්අඩංගුවට ගත් අතර, 3 වැනි සැකකරු වන නාලක එදිරිසිංහ අද පෙරවරුවේ නීතීඥවරයකු මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර වීමෙන් පසු අත්අඩංගුවට පත්විය.

සැකකරුවන් අද සවස නඩු අංක B18202 යටතේ අධිකරණයට ඉදිරිපත් කළ අතර, නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටජෙනරල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ,  2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ ප්‍රතිපාදන මත, මුදල් විශුද්ධිකරණය ඇතුළු චෝදනා 3් යටතේ සැකකරුවන්ට එරෙහිව නඩු පවරන පවයි.

දිලීප පීරිස් මහතා පෙන්වා දුන්නේ ETI තැම්පත්කරුව්නගේ දුක්ගැනවිලි පිළිබඳ සලකා බලා ජනාධිපතිවරයා විසින් මේ පිළිබඳ සෙවීමට හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වූ මිත්‍ර සේන මහතාගේ සභාපතිත්වයෙන් ත්‍රීපුද්ගල ජනාධිපති විමර්ශන කොමිසමක් පත්කරන ලද බවයි. 2020 ජනවාරි 9 දින සිට 2020 ඔක්තෝබර් 20 දක්වා කාලය තුළ මෙහි විමර්ශන සිදු වූ අතර, එහි දී මෙම සැකකරුවන් සිව් දෙනා ද ඇතුළත්ව අධ්‍යක්ෂවරුන් 5 දෙනෙකු විසින් ETI තැම්පත්වරුවන්ගේ මුදල් රුපියල් බිලියන 6.8ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණය කර ඇති බවයි.

ඊට අමතරව කළ වැඩිදුර පරීක්ෂණවල දී තවත් රුපියල් බිලියන 7.2ක මුදලක් නීති විරෝධී ලෙස ස්වර්ණාභරණ විකුණන ආයතනයක් ලෙස පෙනී හිඳිමින් ස්වර්ණමහල් ආයතනය මගින් තැම්පත් ලෙස භාර ගෙන ඇති බව ද දිලීප පීරිස් මහතා මෙහි දී පෙන්වා දුන්නේ ය.
මෙම සමාගම්වල අධ්‍යක්ෂවරුන් වන්නේ එකම පවුලේ සාමාජිකයන් බව පැවසූ දිලීප පීරිස් මහතා,  තැම්පත්කරුවන් 23000 දෙනෙකුගේ මුදල් සැකකරුවන් විසින් සාවද්‍ය පරිහරණයට ගෙන ඇති බව දෙන්වා දුනි.

සැකකරුවන්ට එරෙහිව නඩු පවරා ඇති 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතට අනුව මෙම චෝදනාවලට ඇප ලබා දිය හැකි වුණත්, ඇප පනතේ 14 වගන්තියේ බලතල ප්‍රකාරව සැකකරුවන්ට ඇප දීමට පැමිණිල්ල දැඩි ලෙස විරුද්ධ වන බව දිලීප පීරිස් මහතා සඳහන් කළේය.

තැම්පත්කරුවන් විශාල ප්‍රමාණයක් උද්ඝෝෂණ කරමින්, උපවාස කරමින් සාධාරණය අයැද සිටින බව පෙන්වා දුන් දිලීප පීරිස් මහතා, සැකකරුවන්ට ඇප ලබා දීමෙන් මහජන කැලඹිමක් ඇතිවිය හැකි බව පැවසීය. තවද, සැකකරුවන් ඉතා ධනවත් පුද්ගලයන් වන බැවින් ඔවුන්ට බෝට්ටුවකින් හෝ රටින් පැන ගොස් අධිකරණ මඟහැර යෑමට ඉඩකඩ ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේ ය. එසේ ම, නඩුවේ සාක්ෂිකරුවන්ට චූදිතයන්ගෙන් බලපෑම් එල්ලවීමට ඇති ඉඩකඩ ද දිලීප පීරිස් මහතා පෙන්වා දුනි.

විත්තය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කරුණු දක්වමින් පෙන්වා දුන්නේ තම සේවාදායකයන්, කිසිදු අවස්ථාවක රටින් පැනගොස් හෝ, අධිකරණය මඟහැර බෝට්ටුවකින් පැන ගොස් හෝ, සාක්ෂිකරුවන්ට බාධාවක් සිදුකර හෝ නොමැති බවයි. එසේ පැන යනවානම්, 2018 වසරේ සිට මේ දක්වා වසර 3ක් තිස්සේ ඊට අවස්ථාව ඕනෑ තරම් තිබුණු බව ද විත්තියේ නීතිඥවරයා පෙන්වා දුන්නේ ය.

මීගමුව අධිකරණයේ මෙන් ම, මෙම නඩුව පවරා තිබේන කොළඹ කොටුව අධිකරණයේ ද මේ සම්බන්ධයෙන් ම වෙනත් නඩු පැවතෙන බව පෙන්වා දුන් නීතීඥවරයා පැවසුවේ, තම සේවාදායකයන් කිසිදු අවස්ථාවක අධිකරණය මඟහැර යෑමට හෝ පැමිණිල්ලට හා නීතියට අපහසුතාවක් ඇතිවන ලෙස ක්‍රියාකර නොමැති බවයි.

2012 වසරේ දී මහබැංකුව පරීක්ෂණයක් ETI සහ ස්වර්ණමහල් සමාගම් පිළිබඳ ආරම්භ කළ අතර, එහි දී අනුබද්ධ සමාගම්වල සියලු මුදල් ETI වෙත බැර කරන ලෙස උපදෙස් දුන් බව ජනාධිපති නීතීඥවරයා පෙන්වා දුනි. එහි දී කළ විගණනයෙන් පසු, සමාගම සතුව බිලියන18ක වත්කමක් තිබෙන බවත්, තැම්පත්කරුවන්ට ගෙවීමට තිබුණේ බිලියන 13ක් පමණක් බවත් ඒ මහතා පැවසීය.

ඒ අවස්ථාවේ දී සමාගම විසින් මහබැංකුවන් ඉල්ලා සිටියේ තම දේපළ ඈවර කර, තැම්පත්කරුවන්ගේ මුදල් ගෙවන ලෙස වුණත්, මහබැංකුව සිදුකළේ එයින් තැම්පත්කරුවන්ට පොළි මුදල ගෙවීමට කටයුතු කිරීම බව නීතීඥවරයා මෙහි දී අධිකරණයට හෙළි කළේය.

ඒ අවස්ථාවේ දී සමාගමේ ඉල්ලීම සලකා බලා තැම්පත්කරුවන්ට පොළි ගෙවනවා වෙනුවට තැම්පත් මූලික මුදල් ගෙවා අවසන් කළේ නම් මෙම තත්ත්වය ඒ අවස්ථාවේ දීම විසඳා ගැනීමට හැකිව තිබුණු බව ඒ මහතා  අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ ය. ඉන් පසුව සමාගමේ සියලු ගණුදෙනු මහබැංකුවේ අධීක්ෂණය යටතේ පමණක් සිදු වූ බව පෙන්වා දුන් ජනාධිපති නීතීඥවරයා පවසා සිටියේ, එතැන් සිට 2018 ජනවාරි 02 දින දක්වාම සිට තැම්පත්කරුවන්ට නිසි පරිදි පොළි මුදල් ගෙවා ඇති බවයි.

මහබැංකුවේ මෙම වැරැදි තීරණයෙන් සිදුවුණේ තැම්පත් මුදල එසේම තිබිය දී පොළි මුදල පමණක් සමාගමේ වත්කම්වලින් ගෙවීම පමණක් බව නීතීඥවරයා අවධාරණය කළේය. මේ වනවිට තැම්පත්කරුවන්ට ගෙවීමට ඇති මුදලින් 60% ගෙවා ඇති බව ද ඒ මහතා පැවසීය.

එබැවින් සැකකරුවන්ට අධිකරණය මඟහැර යෑමට හෝ ඉදිරි නඩු කටයුතුවලට බාධා ඇතිවන සේ හැසිරීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව වැඩිදුරටත් පෙන්වා දෙමින් ජනාධිපති නීතීඥවරයා සැකකරුවන්ට ඇප අයැද සිටියේ ය.

ඇප පනතේ 14 වගන්තිය මගින් ඇප දීම ප්‍රතික්ෂේප කළ යුත්තේ අගතියට පත් පාර්ශ්වය තෘප්තිමත් කිරීමට නොවන බවත්, පැමිණිල්ල විසින් ඇප දීමට විරුද්ධව ඉදිරිපත් කරනු ලබන කරුණු මගින් අධිකරණය සෑහීමකට පත්වන්නේනම් පමණක් ඇප ප්‍රතික්ෂේප කළ යුතු බවත්, විත්තියේ නීතීඥවරුන් කරුණු දක්වමින් පෙන්වා දුනි.

ඉදිරිපත් වූ සියලු කරුණු සැලකිල්ලට ගෙන විනිසුරුවරයා නියෝග කළේ, සැකකරුවන් අධිකරණය මඟහැර යෑමට ඇති ඉඩකඩ පිළිබඳ ඇප පනතේ 14.1 අ(1) වගන්ති ප්‍රකාරව පැමිණිල්ල විසින් ඉදිරිපත් කරන ලද කරුණු ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් ප්‍රමාණවත් නොහැකි බවයි.

ඇප පනතේ 14.1 අ(11) වගන්තියට අනුව, සැකකරුවන් විසින් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම පිළිබඳ පැහැදිළි ලෙස කරුණු දක්වා නොමැති බැවින් එමගින් ද ඇප දීම ප්‍රතික්ෂේප කිරීමට නොහැකි බවට නියෝග කළේය.

ඇප පනතේ 14.1(ආ) වගන්තිය මත හිඳ සැකකරුවන්ට ඇප ලබා දීමෙන් මහජන කැලඹිලි, උද්ඝෝෂණ ඇති විය හැකි බවට පැමිණිල්ල විසින් කරණු ඉදිරිපත් කරන ලද නමුත්, ‘මහජන‘ යන්නෙන් අදහස් කෙරෙන්නේ අගතියට පත් පාර්ශ්වය හෝ පැමිණිලි පාර්ශ්වය නොවන බව වෙනත් නඩුවක තීන්දුවක් උපුටා දක්වමින් විනිසුරුවරයා තම නියෝගය ප්‍රකාශ කළේ ය.

ඒ අනුව, ඇප දීමට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කරන ලද සියලු කරුණු එකින් එක පැහැදිළි කරමින්, විනිස්රුවරයා නියෝග කළේ එම කරුණු අධිකරණය සැහීමකට පත්කිරීමට තරම් ප්‍රමාණවත් නොවන බවයි.

ඒ අනුව සැකකරුවන් සිව් දෙනා රුපියල් මිලියනයක් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමට විනිසුරුවරයා නියෝග කළේය. ඇප කොන්දේසි ලෙස, චූදිතයන්ගේ විදෙස් ගමන් තහනම් කරමින් විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට භාරයට ගන්නා ලෙස ද නියෝග කළ විනිසුරුවරයා, චූදිතයන් ලබන ඉරිදා දිනයේ සිට සෑම මසක ම ඉරිදා දින දෙකක් කොළඹ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස ද නියෝග කළේය.

සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න, අනුර සෙනෙවිරත්න, ක්‍රිෂාන්ත ප්‍රේමසිරි, නලීන් ප්‍රනාන්දු, දම්මිකා දයාරත්න, අසේල රැකව, චමත් වික්‍රමසිංහ, සංදීප්ත සූරිආරච්චි, තරංගි මුතුකුමාරණ, සෙනාලි මතුගම යන නීතීඥවරුන් පෙනී සිටි අතර, තැම්පත්කරුවන් වෙනුවෙන් ද නීතීඥවරු කිහිප දෙනෙක් පෙනී සිටියහ.

මේ වනවිට අධිකරණ භූමියෙන් පිටත රැඳී සිටි තැම්පත් කරුවන් පිරිසක් සැකකරුවන්ට ඇප දීමට එරෙහිව රජයට, නීතිපති දෙපාර්තමේන්තුවට මෙන් ම නීතීඥවරුන්ට ද බැණ වදිමින් නොසන්සුන් ලෙස හැසිරුණු අයුරු දැකගත හැකි විය.

 

 

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...