[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

ඡන්දෙ දෙන්න නිවාඩු ගන්න නීතියෙන් ඉඩ තිබුණත් ඡන්දෙට දුන් නිවාඩුවට පඩි කපලා

-

Spread the love

E-Paper

-චාන්දනී දිසානායක-

මැතිවරණය අවසන්ව, පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට වැටුප් ගෙවන දිනයෙන් පසු ව එම ආයතනවල සේවක සේවිකාවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට නිවාඩු නොදෙන බවට පැමිණිලි විශාල ගණනක් කම්කරු කාර්යාලවලට ලැබෙන බව කම්කරු නිලධාරීහු පවසති.

එම නිලධාරීන් පෙන්වා දෙන්නේ පුද්ගලික ආයතනවල සේවකයන් හට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා නොදීම පිළිබඳ පැමිණිලි මැතිවරණ සමයේ දී නොලැබුණත්, ඔවුන්ට වැටුප් ලබා දෙන දිනවලින් පසුව, එනම් පශ්චාත් මැතිවරණ සමය වනවිට වැටුප් සහිත නිවාඩු නොලැබීම් පිළිබඳ පැමිණිලි කම්කරු කාර්යාලවලට වාර්තා වුණු බවයි.

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඡන්දය අයිතිය ජනතාවට ලැබෙන මූලික අයිතියක් ලෙස ගැණුනත් එකී අයිතිය නොලද පිරිස වෙනත් මැතිවරණවලට සාපේක්ෂව මෙම මැතිවරණයේ දී වැඩි අගයක් ගෙන ඇති අතර, මේ පිළිබඳ මැතිවරණයට පෙරාතුව කම්කරු කාර්යාලවලට තොරතුරු අනාවරණය වී තිබිණි.

ඒ පිළිබඳ පෞද්ගලික ආයතන කිහිපයක සේවක සේවිකාවන්ගෙන් අපි විමසා බැලුවෙමු. ඉන් වැඩි දෙනක් තම සේවාදායකයා ආරක්ෂා කරමින් අදහස් දැක්වූ අතර, ඇතැමුන් තම රැකියාව ආරක්ෂා කරගැනීමට උත්සාහ දරන අයුරු ද පෙනී ගියේ ය. බොහෝ සේවකයෝ තම අනන්‍යතාවය හෙළි කිරීමට මැලිකමක් දැක්වූහ.

මෙහි දී පෞද්ගලික බස් රථ රියදුරෙකු කියා සිටියේ මැතිවරණය වෙනුවෙන් ඔවුන්ට විශේෂ නිවාඩුවක් නොලැබුණත්, මැතිවරණ දිනවල දී මඟීන්ගේ අඩුවක් තිබෙන නිසා බස් හිමිකරුවන් විසින් බොහෝ බස් රථ ධාවනය නොකරනු ලබන බැවින් ඔවුන්ට නිවාඩු හිමිවන බවයි.

අපි ඡන්දයනම් දාන්න යනවා. හැබැයි මැතිවරණය අපිට විශේෂයි කියලා දැනෙන්නේ නෑ. අපිට බස් හිමියන්ගෙන් විශේෂ වරප්‍රසාදයක් ලැබෙන්නේ නෑ. ඡන්දය දවසට බස් එක දුවන්න තරම් පාරේ මඟීන් ඉන්නවා කියලා දැනුනොත් අපි බස් එක දුවනවා. එතකොට ඡන්දය දාන එක ගැන බලන්නෙ නෑ.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සේවකයකු මෙලෙස අසහස් දැක්විය.

කොන්ත්‍රාත් පදනමට වැඩ කරන නිසා ඇතැම් දිනවල දී මැතිවරණ දිනයක් වුවත්, වැඩ කරන්න සිද්ධ වෙනවා. එහෙම නොවෙනවා නම්, මාසයකට දෙන නිවාඩු ඔක්කොම ටික ඡන්දය තියෙන දවසත් එක්කම ලබාගන්නවා. අපි මීට ඉස්සර වෙලා මේ ගැන කතා කරලා නෑ. අපෙන් කවුරුවත් ඒ ගැන අහලත් නෑ. අපට මේකේ විශේෂත්වයක් දැනිලා නෑ. නිවාඩුවක් ලැබෙනවා නම් හොඳයි තමයි. ඒත් අපි වැඩ කළොත් විතරනේ අපේ පවුල් ජීවත් කරවන්න පුළුවන් වෙන්නෙ. පසුගිය කොරෝනා සමයේ අපි වැඩ කළේ නෑ. කිසිම ආදායමක් නැතිව ජීවත් වුණා. කනකර උගස් කළා. ඉතිං මැතිවරණයට වැඩපළෙන් නිවාඩු දුන්නත්, ඒ නිවාඩුව නොගෙන වැඩ කරන්න වෙනවා. හේතුව රජයේ සේවකයන් වගේ අපිට නිවාඩුව ලැබුණත් වැටුපක් ලැබෙන්නේ නෑ. ඒ නිසා නිවාඩු ගැන වැඩිය හිතන්නේ නෑ. ඡන්දය දුන්නා කියලා අපිට ලැබෙන දෙයකුත් නෑ.

උක්ත වරප්‍රසාද අහිමි කම්කරුවෝ අදහස් දැක්වීමේ දී තම අනන්‍යතාව හෙළි නොකළත් එකී වරප්‍රසාදය හිමිවන  ආයතනවල සේවක සේවිකාවෝ අදහස් දැක්වීමේ දී අනන්‍යතාවය හෙළි කිරීම පිළිබඳ කිසිදු මැළිකමක් නොදැක්වීම ද විශේෂත්වයකි.

කොණ්ඩා සැකසුම් හා රූපලාවන්‍යාගාරයක සේවිකාවක් වන සුපුනි වික්‍රමනායක මෙනවිය මෙලෙස අදහස් දැක්වූවා ය.

මගේ නිවසේ ඉඳල කිලෝ මීටර් තුනක් විතර දුරින් තමයි මම වැඩ කරන සැලෝන් එක තියෙන්නේ. මට පැයකින් දෙකකින් ඡන්දය දාලා ආපහු වැඩ කරන්න එන්න පුළුවන්. ඒත්, අපේ ආයතනයෙන් සමහර වෙලාවට දවසක් නෙවෙයි දවස් දෙකක් විතර නිවාඩු දෙනවා. පසුගිය කොවිඩ්-19  වසංගතය නිසා අපේ ආයතනවල දැඩි අනාරක්ෂිත බවක් තිබුණත්, ඒ නිසා ගොඩක් පාරිභෝගිකයන් සැලෝන්වලට ආවේ නැහැ. දැනටත් සැලෝන්වලට වැඩ අඩුයි. ඒ වුණාට මටනම් නිවාඩු ලැබුණා ඡන්දය දාන්න

තරු පන්තියේ භෝජනාගාරයක වසර පහළොවක් පමණ සේවය කරන සේවකයෙකු තම ආයතනයෙන් ලැබෙන නිවාඩු සහ පහසුකම් පිළිබඳ මෙලෙස අදහස් පළ කරමින් කියා සිටියේ ඔවුන්ට මැතිවරණය කියා විශේෂිත නිවාඩුවක් නොලැබුණත්, එක් එක් සේවකයන් පදිංචි දුර අනුව සේවා මුරය මාරු කරගනිමින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා ගත හැකි බවයි.

දෛනික වැටුප් හිමිවන ඇතැම් ආයතනවල සේවකයන් හට රජයේ නිවාඩු දින හෝ මැතිවරණ වෙනුවෙන් කියා නිවාඩු ලැබෙන විශේෂ ක්‍රමයක් දක්නට නොලැබිණි. ඒ අතර ඇතැම් ආයතනවල තිබෙන සේවක පුරප්පාඩු නිසා නිවාඩු පිළිබඳ නොතකා සේවය කිරීමට සිදුව තිබෙන බව ද දැකගන්නට හැකි විය.
මේ එවැනි ආයන කිහිපයක වගකිවයුතු නිලධාරීන් සමඟ කළ කතාබහකි.

ඉදිකිරීම් ක්ෂේත්රයේ සිවිල් ඉංජිනේරුවරයෙක් වන ජයන්ත බණ්ඩාර මහතා මෙලෙස කියා සිටියේය.

අපේ රැකියා ක්ෂේත්‍රයේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒකට හේතුව තමයි රජයේ ඉදිකිරීම් අපි භාරගන්නේ නිශ්චිත කාල සීමාවක් තුළ වැඩ අවසන් කිරීමටයි. මාස තුනක්, මාස හයක්, අවුරුද්දක්, ඒ වගේ යම්කිසි කාලසීමාවක් තුළ අවසන් කිරීමට ගිවිසුම් අත්සන් කරනවා. ඒ අනුවයි අපට වැඩ කරන්න වෙලා තිබෙන්නේ. ඒ ඒ ඉදිකිරීම් නියමිත දිනවලට අපි භාර දිය යුතුයි. එහෙම නොවුණහොත් රඳවා ගැනීමේ ගාස්තුවලට අමතරව ප්‍රමාද වෙන දිනවලට අපට දඩ ගෙවන්න වෙනවා. මේ හේතුව නිසා අපි නිවාඩු දින නොසලකා දිගටම වැඩ කරනවා. මොකද අපේ ක්ෂේත්‍රයේ රැකියාවලට යොමු වන පිරිසත් ඉතාමත් අඩුයි. ඊට අමතරව අසනීප වැනි පෞද්ගලික හේතු නිසාත් සේවකයෝ පැමිණෙන්නේ කඩින් කඩ. මේ සියලු කරුණු ගැන බලද්දි නිශ්චිත දිනවලට අපේ ඉදිකිරීම් අවසන් කිරීමට නොහැකි වන නිසා වර්ෂා කාල සහිත පරිච්ඡේදයක වුණත් අපට වැඩ කරන්නට සිද්ධ වෙනවා. මේ හේතුව නිසා බොහෝ දුරට සේවකයන්ට අපි මැතිවරණය වෙනුවෙන් නිවාඩු ලබා දුන්නත් ඔවුන්ට වැඩ කරන්ට සිද්ධ වෙනවා.

සමස්ත ලංකා අන්තර් පළාත් බස් රථ හිමිකරුවන්ගේ සංගමයේ වයඹ පළාතේ සභාපති ප්‍රසන්න විපුලගුණ මහතා මෙසේ කියා සිටියේ ය.

බස් වල සේවය කරන සේවක මහත්වරුන්ට මැතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසලා තියෙනවා. වැඩි දෙනෙක් ඡන්දෙ පාවිච්චි කරනවා. ඔවුන්ට තිබෙන ගමන් වාරවලට අනුව ලැබෙන විවේක කාලය තුළ දී ඡන්දය භාවිතා කරනවා. එහෙත් කම්කරු නීතිවලට අනුව අනිවාර්යයෙන්ම ඔවුන් සඳහා අදාළ නිවාඩුව ලබා දීමට අපි බස් හිමියන් ලෙස බැඳී සිටිනවා. නමුත් මැතිවරණ දිනයේ විශේෂිත අවස්ථාවලදී බස් රථ ධාවනයේ යෙදවීමට සිදු වුවහොත්, එම සේවකයන් යෙදවීමට අපට සිදුවෙනවා. එසේ වුවහොත් ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට ඇති අයිතිය නැති වෙනවා. ඒ නිසා මම යෝජනාවක් කරන්න කැමතියි මේවැනි සේවකයන් හට තැපැල් ඡන්ද ක්‍රමය භාවිත කරන්න අවස්ථාව ලබා දෙන්න කියලා.

රූපලාවන්‍යාගාර 200කට අධික සංඛ්‍යාවක සාමාජිකත්වය දරන ඇතුගල්පුර රූපලාවණ්‍ය සංගමයේ සභාපති සේනක අරුණ කුමාර මහතා මෙසේ කියා සිටියේ ය.

අපි අපේ ආයතන පවත්වාගෙන යෑමේ දී අපගේ පාරිභෝගික ජනතාව පිළිබඳ මෙන්ම සේවක මහත්ම මහත්මීන් පිළිබඳ ව ද විශේෂ අවධානයක් යොමු කරනවා. ඒ නිසා ඔවුන්ගේ අයිතීන් සහ වරප්‍රසාද ඔවුන්ට ලබා දීමට සෑම විටම කටයුතු කරනවා. ඒ නිසා මැතිවරණය ඔවුන්ට ලැබිය යුතු අයිතියක් වශයෙන් අපි බොහෝ දුරට මැතිවරණ දිනයේ රාජකාරි කරන්නේ නෑ. එදිනට මංගල නැකත් සහිත දිනයක් වුණොත් පමණක් අපි වැඩ කරනවා. ඒත් අපේ සේවකයන්ට ඡන්දය දැමීමට අවස්ථාව සලසා දෙන්න අපි පුළුවන් තරම් උත්සාහ කරනවා. මම මගේ ආයතන තුනෙහි සේවක සේවිකාවන්ට දෙන පහසුකම් සහ වරප්‍රසාද අනෙකුත් රූපලාවණ්‍යාගාරවල වලින් ද ලබා දෙනවා ඇති කියලා මම හිතනවා.

කෙසේ වෙතත් ඇතැම් ආයතන ප්‍රධානීන් තම සේවකයන්ගේ අයිතීන් මගහැරීම පිළිබඳ කම්කරු දෙපාර්තමේන්තුවේත්, මැතිවරණ කොමිෂන් සභාවේත් අවධානය ලක්විය යුතු යැයි ඇතැම් ආයතනවල සේවක සේවිකාවෝ පවසති. මේ පිළිබඳ මැතිවරණ මහලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයට අනුව සිය සේවා ස්ථානයේ සිට ඡන්ද පොළට යා යුතු දුර ප්‍රමාණය අනුව ලබා දිය යුතු නිවාඩු කාල සීමාව දක්වා ඇත. සේවා නියුක්තිකයන් ට නිවාඩු ලබාදීමට අදාළ ව පාර්ලිමේන්තු පනතේ දක්වා ඇති නියමයන් අනුගමනය කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ. ඒ අනුව, සේවා ස්ථානයේ සිට ඡන්ද පොළට යා යුතු දුර අනුව නිවාඩු ලබාදිය යුතු කාලය නියම කර තිබේ.

කිලෝමීටර් 40 ක් හෝ ඊට අඩු නම් දින භාගයක්, කිලෝමීටර් 40 ත් 100ත් අතර නම් එක් දිනක්, කිලෝමීටර් 100 ත් 150 ත් අතර දින එක හමාරක්, කිලෝමීටර් 150 ට වැඩි නම් දින දෙකක් වශයෙන් නිවාඩු ලබාදිය යුතුවෙයි., ලබා දිය යුතු අවම කාලය පැය හතරක්, බව ත් ඡන්ද පොළට යෑමට සහ ඒමට දින තුනක් අවශ්‍ය වන අවස්ථාවලදී ඒ පිළිබඳ ද අවධානය යොමු කරන ලෙසත් අදාළ නිවේදනයෙන් දැනුම් දී තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මෙලෙස ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ මාර්ග උපදේශ සැලකිල්ලට ගෙන ගෙන කම්කරු අමාත්‍යංශයේ ලේකම්වරයාත් කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ත් අතර ඇති කර ගන්නා ලද එකඟතාවකට අනුව අදාළ දුර ප්‍රමාණය සහ ලබා දිය යුතු නිවාඩු කාල සීමාව ප්‍රකාශයට වයස අවුරුදු 18 ට වැඩි සෑම පුද්ගලයකුටම ඡන්ද අයිතිය ලැබෙන ආකාරයට නීති රාමුව සකස් ව තිබේ. එය සේවක අයිතීන් යටතේ ද, තිබෙන අතර ඡන්දය ප්‍රකාශ කරන දින  ඔවුන්ගේ  සේවා ස්ථානයට පදිංචි දුර අනුව නිවාඩුවක් ද ලැබේ.

නීති රාමුව කෙසේ තිබුණ ද, ඇතැම් සේවක සේවිකාවන් ට නිවාඩු නොලැබීම පිළිබඳ ගැටලු වාර්තා වන්නේ සැප්තැම්බර් මාසයේ වැටුප් ගෙවීමේදී බවත්, ඇතැම් සේවක සේවිකාවන් වැටුප් සහිත නිවාඩු ලබාගෙන ඡන්දය භාවිතා කිරීමට නොගොස් නිවෙස් වල රැඳී සිටිම තවත් ගැටළුවක් බව කම්කරු නිලධාරීහු පෙන්වා දෙති.
එහෙත් ඇතැම් සේවා ස්ථාන වල ක්‍රියා පටිපාටි වලට අනුව ඡන්දය භාවිතා කිරීමට ඇතැම් සේවකය ට නොහැකි වන බව සේවක සේවිකාවන් මෙන් ම ආයතන ප්‍රධානීන් ද සඳහන් කරයි.

ඡන්දය භාවිතා කිරීම සදහා රජයේ නිලධාරීන් සහ ව්‍යවස්ථාපිත මණ්ඩල, සහ  සංස්ථාවල සේවක සේවිකාවන්ට සහ ආරක්ෂක අංශවල නිලධාරීන්ට නිශ්චිත ක්‍රමවේදයක් තිබුණ ද, වෘත්තීන්වල නියැලෙන බොහෝ සේවක සේවිකාවන් මැතිවරණයකදී විවිධ ගැටලුවලට මුහුණ දෙයි. විශේෂයෙන්ම පෞද්ගලික අංශ වුව ද එම ආයතන අත්‍යවශ්‍ය සේවා ලෙස සැලකෙන, පෞද්ගලික බස් රථ, හෝටල් සහ වෙළඳ සැල්, පුද්ගලික රෝහල්, ඉන්ධන පිරවුම් හල්, සේවක සේවිකාවන් මෙම ප්‍රශ්නයට බොහෝ දුරට ලෙස මුහුණ දෙයි.

එමෙන්ම, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සේවක සේවිකාවන්, සැලෝන්, වාහන අලුත්වැඩියා කරන ස්ථාන වැනි ආයතනවල සේවක සේවිකාවන් ද මෙම ප්‍රශ්නයට දැඩි ලෙස මුහුණ දෙයි.

එහෙත්, 1954 සාප්පු හා කාර්යාල සේවක (සේවා නියුක්තිය හා පාරිශ්‍රමික රෙගුලාසි) පනත: 1971 අංක 29 දරන නිවාඩු දින පනතේ සඳහන් වෙන්නේ,
වැටුප් සහිත උත්සව (රජයේ සහ ආගමික) නිවාඩු දින සඳහා සේවකයාට හිමිකම ඇත. කැලැන්ඩර් වර්ෂය ආරම්භයේ දී ශ්‍රී ලංකා රජය විසින් උත්සව නිවාඩු දින නිවේදනය කරනු ලැබේ. (සාමාන්‍යයෙන් සංඛ්‍යාව 16 කි) 1971 අංක 29 දරන නිවාඩු දින පනත ප්‍රකාරව රජයේ නිවාඩු දින පාලනය කරනු ලැබේ. 1985 සාප්පු හා කාර්යාල සේවක (සේවා නියුක්තිය හා පාරිශ්‍රමික රෙගුලාසි) පනත ද පුර පසළොස්වක පෝය දින හා අනිකුත් රජයේ නිවාඩු දින 8ක් සඳහා විධිවිධාන සලසයි. සතියේ විවේක දිනයක රජයේ නිවාඩු දිනයක් යෙදේ නම් අතිරේක නිවාඩු දිනයක් ලබා දෙනු නොලැබේ. යනුවෙනි.

පැවැති මහ මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම බොහෝ ප්‍රදේශවල සියයට සියයට 70 දක්වා වීම පිළිබඳ කළ විමසීමක දී මෙම තොරතුරු අනාවරණය විය. මේ පිළිබඳව අතිරේක කම්කරු කොමසාරිස් ජෙනරාල් (පාලන)  H.K.K.A. ජයසුන්දර මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා මෙලෙස කියා සිටියේ ය.

ඇතැම් ආයතනවලින් සේවක සේවිකාවන්ට මැතිවරණය ප්‍රකාශ කිරීමට යෑමට නිවාඩු දීම පිළිබඳ අපි ඉතාමත් විමසිල්ලෙන් සොයා බැලුවා සහ ඒ අයගේ අයිතීන් පිළිබඳ ඒ ඒ ආයතන දැනුවත් කරලා තියෙනවා. මේ වන විට කම්කරු කාර්යාලවලට ඒ පිළිබඳව කිසිම පැමිණිල්ලක් ඇවිත් නැහැ. සමහර විට මැතිවරණ කාර්යාලවලට පැමිණිලි ලැබිලා තියෙන්න පුළුවන්. එහෙම වුණොත් ඉදිරියේ දී එහි වාර්තා අපිට මාධ්‍යයට දෙන්න පුළුවන්.

 

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...