[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

-

Spread the love

(ජනක බලල්ල)

ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම ගජ මිතුරන් ආරක්ෂා කරන ආණ්ඩුව, ජනතාවගේ එදිනෙදා ආහාර, ඖෂධ වෙනුවෙන් තව තවත් බදු පටවන බව  පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

ඔහු මේ අදහස් පලකළේ අද(25) නුගේගොඩ සිය පක්ෂ කාර්‍යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඉදිරියේදී අධ්‍යාපනය හා සෞඛ්‍ය වියදම් හැරුණුවිට සියලු බදු බර ජනතාවට දරන්නට සිදුවනු ඇති බවත්, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීමට පවා මුදල් මුද්‍රණය කළ යුතුව ඇති බවත් ඉකුත් දා අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

මේ පිළිබඳ අදහස් දැක්වූ පුබුදු ජයගොඩ මහතා පෙන්වා දෙන්නේ මුදල් නොමැති බව පවසන ආණ්ඩුව ජනතාව මත සියලු බර පැටවූවත්, ධන කුවේරයන්ට බදු සහන ලබා දෙමින් තිබෙන බවයි.

රටේ සමස්ත බදු ආදායමෙන් 85% පමණ භාණ්ඩ හා සේවා බදු ලෙස ජනතාවගෙන් ලබා ගන්නා බවත්, ඒවා කිසිම විටෙක ජනතාවට ගෙවීම් පැහැර හැරීමට නොහැකි බදු බවත් ඔහු පෙන්වා දෙයි.

රටේ ධන කුවේරයන්, සිටුවරුන්, ඒකාධිකාර සමාගම් සියල්ල රජයට ලබා දෙන්නේ ඉතිරි 15% පමණ බදු ආදායම පමණක් බව පුබුදු ජයගොඩ මහතා පෙන්වා දෙයි.

එහෙත් එකී බදු මුදල් ද ආණ්ඩුව නිසි ලෙස එකතු කර නොගන්නා බව පවසන ඒ මහතා උදාහරණ ලෙස පෙන්වා දෙන්නේ රජයේ විගණනයට අනුව 2015 වසරේ සිට 2019 වසර දක්වා වසර 5 තුළ පමණක් රුපියල් කෝටි 41415 මුදලක් සමාගම් විසින් ගෙවීම් පැහැර හරිනු ලැබ ඇති අතර, 2020 වසරේ දී රුපියල් කෝටි 10500ක් ගෙවීම් පැහැර හැර ඇති බවයි. මෙය කෝප් කමිටුව විසින් අනාවරණය කරගනු ලැබ ඇති තොරතුරු බව ද හෙතෙම අවධාරණය කරයි.

ඒ අනුව ඉකුත් වසර 6 තුළ පමණක් බදු ගෙවීම් පැහැර හැරීම නිසා රටට අහිමිව ඇති මුදල රුපියල් කෝටි 51,915කි.

ධන කුවේර ධම්මික පෙරේරාගේ සොහොයුරා වන කුලප්පු ආරච්චිගේ දොන් අනුරාධ පෙරේරා අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ”බේලීස් කැසිනෝ” සමාගම පමණක් බදු  නොගෙවා රටට අහිමි කර ඇති මුදල රුපියල් කෝටි 575ක් බව පුබුදු ජයගොඩ මහතා පෙන්වා දෙයි.

එසේ තිබිය දී රුපියල් බිලියනයක් රටට ගෙනැවිත් සහන දීම ගැන ඔහු කතා කරමින් සිටින බවත්, ඇතැමුන් මේ කිසිත් නොදැන ඔහු ජනාධිපති කිරීමට පවා යෝජනා කිරීම හාස්‍යයට කරුණක් බවත් ජයගොඩ මහතා පවසයි.

තව දුරටත් කරුණු දැක්වූ පුබුදු ජයගොඩ මහතා…

”මේ තියෙන්නේ තවත් එකක්. ඒකත් කැසිනෝ. හේවාවසම්ගේ රවීන්ද්‍රනාත් ශ්‍රී ලාල් විජේරත්න. වීජේරත්නට අයිති මරීනා කලම්බෝ රෑන්ක් එන්ටර්ටේට්මන්ට් හෝල්ඩිං සමාගම ගෙවීම් පැහැර හැර ඇති බදු මුදල රුපියල් කෝටි 76ක්. ඔහුගේම තවත් කැසිනෝ සමාගමක් වන ස්ටාර්ඩස්ට් කැසිනෝ සමාගමත් කෝටි 76ක් බදු ගෙවීම පැහැර හැරලා තියෙනවා.”  

”ඊට අමතරව රුපියල් බිලියන 600ක් අහිමි වුණා 2020 වසර මුල දි වැට් බද්ද අහෝසි කිරීමෙන්. සීනි බදු වංචාවෙන් රුපියල් කෝටි 1676ක පාඩුවක් වෙලා තියෙනවා විගනකාධිපති වාර්තාව පවසන විදිහට.”

මෙම බදු වංචාකර ඇති පුද්ගලයන් අධිකරණය හමුවට කැඳවා ඔවුන්ගේ දේපළ රාජසන්තක කර හෝ අයවිය යුතු මුදල් අත්පත් කරගත යුතු බව පුබුදු ජයගොඩ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඊට අමතරව, ඉකුත් මැයි 9 රාත්‍රී ගිනි තැබීමට ලක්වූ දේශපාලකයන්ගේ නිවෙස්වලට වන්දි ගෙවීම වෙනුවෙන් හදිසි ඇස්තමේන්තු කැඳවීමක් සිදුකර ඇති බව ද ඒ මහතා පෙන්වා දුන්නේ ය.

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...