Saturday, April 20, 2024
Home Blog

රාජ්‍ය සේවකයන්ට වෙලාවට වැඩ කරන්න නව චක්‍රලේඛයක්

0

(කුමාරි රත්නායක)

රජයේ සේවකයන්ට වැඩ කරන වේලාවන් අනිවාර්ය කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

ඒ අනුව කාර්යාලගතව සේවය කරන රජයේ සේවකයන් උදෑසන 8.30 සිට සවස 4.15 දක්වා කාර්යාලවල රැඳි සිටිමින් රාජකාරි කිරීම අනිවාර්ය වේ.

ඇතැම් රාජ්‍ය නිලධාරින් හා සේවකයන් රාජකාරී වේලාව නොතකා කාර්යාලවලට පැමිණිම සහ  පිටවීම වැළැක්වීමට මෙම චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

තවද, අදාළ චක්‍රලේඛයට අනුව රජයේ කාර්යාලවල මුදල් ගනුදෙනු කෙරෙන සරප් කවුන්ටර ද පස්වරු 3.00 දක්වා මුදල් විවෘතව තැබීම අනිවාර්ය වේ. මහජන පැමිණිලි සැලකිල්ලට ගනිමින් සියලු රාජ්‍ය ආයතනවල  විමසීම් කවුළු, මුදල් භාර ගැනීමේ කවුළු, අයැදුම්පත් භාර ගැනීමේ කවුළු අඛණ්ඩව වීවෘතව තැබිය යුතු වන අතර රාජකාරී කාලය තුළදී ඒවාගේ සේවකයන් වෙනත් පෞද්ගලික කටයුතු සඳහා පිටව යෑම නොකළ යුතු බව ද චක්‍රලේඛය මගින් දන්වා ඇත.

ඊට අමතරව රාජකාරි කාලය තුළ කාර්යාල හැඳුනුම්පත පැලඳ සිටීම හා නිල ඇඳුම් දීමනා ලබන සියලුම රාජ්‍ය නිලධරයන් සිය නිල ඇඳුමින් සැරසී සිටීම ද අනිවාර්ය කර ඇත.

සියලු රාජ්‍ය ආයතනවල මහජන දිනය ලෙස නම්කර ඇති දිනවල දී පහළ සේවකයාගේ සිට අමාත්‍යාංශ ලේකම්වරයා දක්වා වූ සෑම තරාතිරමකම රාජ්‍ය සේවකයන් කාර්යාලයේ රැඳීසිටීමට අත්‍යවශ්‍ය බවද අදාළ චක්‍රලේඛයේ සඳහන් වෙයි. එසේම අසනීප හෝ නොවැළැක්විය හැකි හේතුවක් හැරුණුවිට වෙනත් අවශ්‍යතා සඳහා නිවාඩු අනුමත නොකිරීමට ආයතන ප්‍රධානියා වගබලා ගත යුතු බව ද එහි දක්වා ඇත.

ඊට අමතරව ආබාධිත සේවාලාභින්ට කාර්යාල වෙත ප්‍රවේශ වීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට පියවර ගත යුතු බවද චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වේ.

ලබන පාර ජාතික අපේක්ෂකයා “රනිල්” බව ඒකමතිකව තීරණය වෙයි

0

(ජනක බලල්ල)

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාතික අපේක්ෂකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට තිරණය වෙයි.

ඒ එජාප නායක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එජාප කළමනාකරණ කමිටුව අද (9) කොළඹ දී රැස් වූ අවස්ථාවේ දී ය.

ජනාධිපතිවරණය එළඹෙන සැප්තැම්බර් මාසයේ පවත්වා නැවත රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණය පවත්වා ආණ්ඩු බලය ලබා ගැනීමට ද මෙහි දී වැඩිදුරටත් සාකච්ඡා කර තිබේ.

හිස්බුල්ලා නායකයෙක් ඊශ්‍රායල් ප්‍රහාරයකින් මරුට

0

හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ හිස්බුල්ලා අණදෙන නිලධාරි  වසීම් අල් තවීල් ඊශ්‍රායල් ප්‍රහාරයකින් ජනවාරි 08 මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මොහු හිස්බුල්ලා සංවිධානයේ සන්නද්ධ අංශය යටතේ පවතින, රඩ්වාන් බලඇණියේ අණ දෙන නිලධාරී ලෙස කටයුතු කරන අතර, ෂියා සටන්කාමීන්ගේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයා ලෙසද මොහු හඳුන්වයි.

ඔහු ගමන් ගත් මෝටර් රථයට ඊශ්‍රායල් හමුදාව එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් මෙම මරණය සිදුව ඇති බව පැවසේ.

ප්‍රකාශයක් නිකුත් කරමින් හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායල ප්‍රහාරයකින් තාවිල්ගේ මරණය සිදු වූ බවට පිළිගෙන ඇත.  හිස්බුල්ලා සංවිධානය ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට සහාය දක්වන අතර, එය ලෙබනනයේ ක්‍රියාත්මක සංවිධානයකි.

(CNN)

ලසන්ත ඝාතනයට අවුරුදු15යි-ඝාතකයන් තවමත් නිදැල්ලේ

0

(ජනක බලල්ල)

ප්‍රවීන මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා අමානුසික ලෙස ඝාතන කර වසර 15ක් ගතවීම සිහිපත් කරමින් ඔහුගේ ඥාති හිත මිත්‍රාදීන් අද (ජනවාරි08) බොරැල්ල කනත්තට එක්වීය.

2009 වසරේ රත්මලාන අත්හිඩිය ප්‍රදේශයේ දී සිදු වූ මෙම ඝාතනයට එවක රාජ්‍ය පාලනය කළ රාජපක්ෂවරු සම්බන්ධ බවට රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛව පැවැති එවක විපක්ෂයේ ඇතැමුන්ගෙන් චෝදනා එල්ල වී තිබිණි. 2015 වසරේ දී ඔවුන් ‘යහපාලන ආණ්ඩුව’ ලෙස බලයට පැමිණි අතර, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන්වීම ආදී සිද්ධි ඒ දිනවල ඔවුන්ගේ ප්‍රධාන සටන් පාඨ බවට පත්ව තිබිණි.

යහපාලන ආණ්ඩුව පත්වීමෙන් ටික කලකට පසු, එනම් 2016 සැප්තැම්බර් 27 වැනි දා ලසන්තගේ දේහය ගොඩගෙන යළ පරීක්ෂණ සිදුකළ අතර, එහි දී එම මරණය සිදුව ඇත්තේ වෙඩි තැබීමක් නොව විශේෂ අවියකින් හිසට කළ පහරදීමකින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2017 මාර්තු 20 වැනි දා අධිකරණයට පවසන ලදී. තවද, ලසන්තගේ ඝාතනයට පෙර දින ඔහුගේ කාර්යාලය අසල යුද්ධ හමුදා බුද්ධි අංශ සාමාජිකයන් ගැවසුණු බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබිණි. එම ඝාතනයට අදාළව පරීක්ෂණ වෙනුවෙන් 950 දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් ඉන් 295 දෙනෙකු යුද්ධ හමුදා බුද්ධි අංශ සාමාජිකයන් බවත් 2018 ජනවාරි 18 වැනි දා ඔවුන් අධිකරණයට වාර්ථා කර තිබිණි. එසේම, ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ එවක අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි තිස්ස සුගතපාල යන අය ලසන්ත ඝාතනයේ සාක්ෂි වසන් කළ බවට චෝදනා කර 2018 පෙබරවාරි 02 වැනි දා අත්අඩංගුවට ගෙන තිබිණි.

කෙසේ වෙතත් යහපාලන ආණ්ඩුව පෙරළි යළි රාජපක්ෂවරු බලයට පැමිණෙන තුරු ලසන්තගේ ඝාතනය පිළිබඳ නඩු කටයුතු අවසන් නොවුණු අතර, ඉන් අනතුරුව ඒ පිළිබඳ කතාබහ සිදුවන්නේ ද බොහෝවිට ජනවාරි මාසයේ මුල් සතිය තුළ වීම ද විශේෂත්වයකි.

උ/පෙළ 12ට – සා/පෙළ 10ට

0

(ජනක බලල්ල)

පාසල් අධ්‍යාපනය වසරකින් අඩු කිරීමට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් යෝජනා කර ඇතැයි අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.

ඒ අනුව මේ දක්වා වන 13 ශ්‍රේණි අපොස උසස් පෙළ විභාගය 12 ශ්‍රේණය දක්වා අඩුවන අතර, අපොස සාමාන්‍ය පෙළ විභාගය 11 ශ්‍රේණයේ සිට 10 වැනි ශ්‍රේණිය දක්වා වසරකින් අඩුවනු ඇති. ඒ අනුව දරුවකුගේ සම්පූර්ණ පාසල් අධ්‍යාපනය වයස අවුරුදු 17 දී අවසන් වේ.

තවද, පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය පාසල පාදක කරගත් ඇගැයීම්වලින් යම් ප්‍රතිශතයක් සහ ලිඛිත පරීක්ෂණයෙන් යම් ප්‍රතිශතයක් ලෙස ලකුණු දීමේ ක්‍රමවේදයකට සකසා ශිෂ්‍යත්ව විභාගය තරගකාරීත්වය අවම වූ සරල එකක් බවට පත්කිරීමට ද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් යෝජනා කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඊට අමතරව අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා නියමිත විෂයන් ගණන 9 සිට 7 දක්වා අඩුකිරීමටත්, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය, තාක්ෂණික හා වෘත්තීය කුසලතා, ආගමික හා සාරධර්ම යන නව විෂයන් ත්‍රිත්ත්වය ඊට අනිවාර්ය කොට ඇතුළත් කිරීමටත් එම නව ප්‍රතිසංස්කරණ මගින් යෝජනා වී ඇත.

ජොනීගෙ උපන්දිනය සමරන්න රනිල් ඇවිත්

0

(නායක බණ්ඩාර)

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ජන්ම දිනය අදට (05) යෙදී ඇති අතර, ඒ වෙනුවෙන් කෙටි උත්සවයක් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී කාමරයේ දී සංවිධානය කර තිබිණි.

විදෙස් සංචාරයකින් අනතුරුව අද දිවයිනට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එම අවස්ථාවට සහභාවී වී සිටීම විශේෂත්වයකි. ඊට අමතරව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටි බව ද වාර්තා වේ.

ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය දෙසැ. 28 සිට ගාල්ලේ

0

“ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය දෙසැම්බර් මස  28, 29, 30 දිනවලදී ගාල්ල සමනල ක්‍රීඩාංගන පරිශ්‍රෙය්දී පැවැත්වේ.

අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් බිහි කිරීමේ ජාතික වැඩ සටහන යටතේ, දේශීය සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම අරමුණු කර කර්මාන්ත අමාත්‍යාශය සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව  සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය කර්මාන්ත ක්ශේත්‍ර 24 ක් අනුක්ශේත්‍ර 68 ක් ආවරනය වන පරිදි ප්‍රදර්ශන කුටි 300කින් සමන්විත වේ.

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය  පවසන්නේ  මෙම ප්‍රදර්ශනයේදී සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන සඳහා දේශිය කර්මාන්ත කරුවන් හට වෙලඳපළ අවස්ථා වැඩිකරගැනීම හා ආයතනය ප්‍රවර්ධනය කරගැනීමට හැකියාවක් ඇති වන බයි.

ප්‍රදර්ශන කුටි වෙන්කර ගැනීමට 0714-396529 සහ 0112-815009 දුරකථනන අංක ඔස්සේ හැකියාව ඇති බව ද ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය නිවේදනය කරයි.

දේවගැති ජෙරම් ප්‍රනාන්දු 13 තෙක් රිමාන්ඩ්

0

(ජනක බලල්ල)

දේවගැති ජෙරම් ප්‍රනාන්දු ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද(01) නියෝග කර ඇත.

ඒ, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අද (01) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීමෙන් පසුවයි.

බුදුදහම ඇතුළු ආගම්වලට අපහාස කළැයි දේවගැතිවරයාට චෝදනා එල්ල වී තිබුණු අතර, ඊට බලපෑ ආසන්නතම හේතු වූයේ 2023-04-29 දින ඔහු පැවැත්වූ දේව මෙහෙයක වීඩියෝවක් සමාජ ජාලා තුළ සීඝ්‍ර ලෙස සංසරණය වීම සහ ඒ පිළිබඳ ජනතාව තුළ දැඩි කථා බහට ලක්ව තිබීමයි.

ඒත් සමග ඔහු දිවයිනෙන් පිටව ගොස් සිටි අතර, ඔහු යළි දිවයිනට පැමිණෙන අවස්ථාවේදී ගුවන් තොටුපළින් අත්අඩංගුවට නොගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් ඉකුත් නොවැම්බර් 17 දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කර තිබිණි. එහෙත් ඔහු දිවයිනට පැමිණ පැය 48ක් ඇතුළත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් වන ලෙස ද නියෝගයේ සඳහන් වී තිබිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය (ICCPR) සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ජෙරම් ප්‍රනාන්දුට එරෙහිව විමර්ශන ආරම්භ කරනු ලැබ තිබිණි.

කෙසේ වෙතත් චෝදනා එල්ල වූ දේවගැති ජෙරම් ප්‍රනාන්දු මාස කිහිපයක් විදේශගත ව සිට පසුගිය 29 වැනි බදාදා යළි දිවයිනට පැමිණි අතර, එහි දී ඔහු අත්අඩංගුවට ගෙන නොතිබිණි.

පසුව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අද(01) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඔහු කැඳවා තිබුණු අතර, එහි දී දේවගැතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.

ඒ අනුව අත්අඩංගුවට ගත් දේවගැතිවරයා කොටුව මහේස්ත්‍රාත් අධිකරණ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සැකකාර ජෙරම් ප්‍රනාන්දු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ පෙනී සිටින පෙනී සිටි අතර, නීතීඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දී ඇත්තේ 2023-04-29 දින පැවැත්වූ දේව මෙහෙයේ දී කළ දේශනයේ එක වචනයක් වත් බුදුන් වහන්සේට, බුදු දහමට, ඉස්ලාම් දහමට, හින්දු දහමට නිගා වන ආකාරයට සිදු කර නොමැති බැවින් ඔහුට ඇප ලබා දෙන ලෙසයි.

කෙසේ වෙතත් මේ පිළිබඳ පරීක්ෂණ අවසන් නොමැති නිසාත් ICCPR පනතේ 3/1 වගන්තිය යටතේ ප්‍රමාණවත් කරුණු අධිකරණයට ඉදිරිපත් කර තිබෙන නිසාත් සැකකරුට ඇප ලබා දීමෙන් එය නීතියේ ආධිපත්‍යයට පහරක් වනු ඇති බවත් සඳහන් කරමින් විනිසුරුවරයා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.

පෙට්‍රල් මිල වෙනස් වෙයි

0

(ජනක බලල්ල)

අද සිට පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් පහත අදා ඇත.

නොවැ. 30 මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර ඇත.

සංශෝධනය වූ මිල ගණන් පහත පරිදි වේ.

ඔක්ටේන් 92 – රු10කින් පහළට – නව මිල රුපියල් 346/=
ඔක්ටේන් 95 – රු3කින් ඉහළට – නව මිල රුපියල් 426/=
ලංකා සුදු ඩීසල් – රු27කින් පහළට – නව මිල රුපියල් 329/=
ලංකා සුපිරි ඩීසල් – රු3කින් ඉහළට – නව මිල රුපියල් 434/=
භූමි තෙල් –  රු2කින් පහළට –  නව මිල රුපියල් 247/=

අපොස (සා.පෙළ) ප්‍රතිඵල නිකුත් වෙයි

0

(ජනක බලල්ල)

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි.

අයදුම්කරුවන් හට තම ප්‍රතිඵලය විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන https://www.doenets.lk සහ www.results.exams.gov.lk මගින් ලබා ගහ හැකිය.

කෙසේ වෙතත් විභාග දෙපාර්තමේන්තුව මෙම ප්‍රතිඵලය නිකුත් කිරීමට සති කිහිපයක් තිස්සේ කල්මරමින් සිටි අතර, මේ වසරේ පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය ද නිශ්චිත දිනයක් නොමැතිව කල් දමා තිබේ.