[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

”ගෝඨාභය ඉල්ලා අස්වී කතානායක වැඩබලන ජනාධිපති කළ යුතුයි” NPP

-

Spread the love

(ජනක බලල්ල)

ජනාධිපතිපතිවරයා ධුරයෙන් ඉවත් විය යුතු අතර කතානායක වැඩබලන ජනාධිපති ලෙස කෙටිකාලයකට පත්කළ යුතු බව ජාතික ජන බලවේගය යෝජනා කරයි.

පත්ව ඇති අර්බුදකාරී තත්ත්වයෙන් රට මුදාගැනීමටත්, ව්‍යවස්ථා සංශෝධනයකින් අනතුරුව මැතිවරණයක් කැඳවීම දක්වා රටේ ඉදිරි පැවැත්ම සඳහාත්, වන ප්‍රධාන යෝජනා 04කින් සමන්විත යෝජනාවලියක් අද (11) බත්තරමුල්ලේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක දී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම යෝජනා මාලාව ඉදිරිපත් කෙරිණි

ඒ මහතා පැවසුවේ වර්තමාන දේශපාලන අර්බුදය නිමා කොට රටේ දේශපාලන ස්ථාවරභාවය ඇති කිරීම සඳහා මෙම යෝජනා ඉදිරිපත් බවයි.

(01) වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ වහාම සිය ධුරයෙන් ඉවත් විය යුතුය.

(02) දැනට අගමැතිවරයෙක් නොමැති තත්ත්වයක් තුළ කථානායකවරයා තාවකාලික වැඩබලන ජනාධිපති ලෙස කටයුතු කළ යුතුය.

(03) වර්තමාන ආණ්ඩුවත් වර්තමාන පාර්ලිමේන්තුවේ සංයුතියත් තවදුරටත් ජනවරම නියෝජනය නොකරන බැවින්ද, ආණ්ඩුව පිළිබඳව ජනතාවගේ විශ්වාසය බිඳවැටී ඇති හෙයින්ද, වත්මන් පාර්ලිමේන්තුවේ සිදුකරන කවර හෝ වෙනසක් ජනතාව පිළිනොගන්නා බැවින්ද, මාස 06ක් තුළ නව ජන වරමකින් නව ආණ්ඩුවක් පිහිටුවිය යුතුය. ඒ අතරතුර කාලය සඳහා තාවකාලික පාලන ව්‍යුහයක් ලෙස;

(අ) වත්මන් දේශපාලන අර්බුදය හා අරාජිකත්වය නිම කරමින් රට නව මඟකට ගැනීමේ වගකීම බාර ගැනීමට ජාතික ජන බලවේගය සූදානම් බැවින් ජාතික ජන බලවේගය ප්‍රධාන වගකීම දරමින් පාර්ලිමේන්තුව තුළින් තාවකාලික අන්තර් කාලීන ආණ්ඩුවක් බාධාවකින් තොරව පත්කර ගැනීමට අවශ්‍ය ඉඩකඩ ජාතික ජන බලවේගයට ලබාදීම,

(ආ) එසේ නොමැති නම් කෙටි කලක් සඳහා වත්මන් පාර්ලිමේන්තුව තුළ අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවා ගැනීම. එහිදී ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු එහි කොටස්කරුවන් නොවී විපක්‍ෂයේ සිට ඊට සහාය දක්වනු ඇත.

(04) ඉහත ආකාර දෙකෙන් කුමන ආකාරයෙන් හෝ පත්වෙන තාවකාලික අන්තර් කාලීන ආණ්ඩුව පහත සඳහන් කටයුතු ඉටු කළ යුතුය.

I ජනාධිපතිවරයාගේ බලය සීමා කරන හා වර්තමාන ජනාධිපතිගේ ධුර කාලය සීමා කරන 21වන ව්‍යවස්ථා සංශෝධනය වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගත යුතුය.

II වර්තමානයේ ජනතාව මුහුණදී සිටින බරපතළ ආර්ථික පීඩනය අවම කිරීම සඳහා වන අත්‍යවශ්‍ය සහන ලබාදීමට පියවර ගත යුතුය.

III විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වූ ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට අනුමත කරගත යුතුය.

IV තාවකාලික ආණ්ඩුව පිහිටුවා මාස 06ක් ඇතුළත නව පාලනයක් පිහිටුවිය හැකි වන පරිදි ඒ සඳහා වන මහ මැතිවරණය හා වත්මන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන ව්‍යවස්ථා සංශෝධනයද සහිතව ජනමත විචාරණයත් එකවිට පැවැත්විය යුතුය.

V එම තාවකාලික ආණ්ඩුවේ කටයුතු එකඟ වූ පරිදි සිදු වන්නේද යන්න අධීක්‍ෂණය කිරීම සඳහා අධීක්‍ෂණ මණ්ඩලයක් පත්කළ යුතුය. එය වර්තමාන ජනතා සටන සමග සම්බන්ධව සිටින වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු සටනේ නියෝජිතයන්, ආගමික නායකයන්, විවිධ වෘත්තීයවේදී සංවිධාන හා සිවිල් සංවිධාන නියෝජිතයන්ගෙන් සමන්විත විය යුතුය.”

මෙහි දී අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ වර්තමානයේ රට තුළ ඇතිවී තිබෙන දේශපාලන අස්ථාවරභාවය නිමාකොට ස්ථාවරභාවයක් ගෙනඒම සඳහා ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කරනු ලබන මෙම යෝජනා පිළිබඳව රටේ ජනතාව දැනුවත් කිරීමට මෙම මාධ්‍ය හමුව පවත්වන බවයි.

එහිදී අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසීය.

”මේ මොහොත වනවිට අග්‍රාමාත්‍යවරයෙක්, කැබිනට් මණ්ඩලයක් නැති, ආණ්ඩුවක් නැති විශාල දේශපාලන අස්ථාවරභාවයක් තිබෙනවා. ජනාධිපතිවරයා පමණක් රට පාලනය කරන තත්වයට පත්වී තිබෙනවා. එම ජනාධිපතිවරයාත් ඔහුගේ ක්‍රියා කලාපයත් රටේ ජනතාව විසින් පිළිගන්නේ නැහැ. මේ නිසා රට තුළ විශාල දේශපාලන අස්ථාවරභාවයක් ඇතිවී තිබෙනවා. මෙම තත්වයට පිළිතුරු සෙවීමට පෙර රට තුළ මේ මොහොතේ ඇතිවී තිබෙන තත්වයට ක්‍ෂණික විසඳුම් ලබාදිය යුතුයි.”

”අද වනවිට රට තිබෙන්නේ අඛණ්ඩව දින තුනකට ආසන්න කාලයක් ඇඳිරි නීතිය යටතේයි. හදිසි නීතිය පනවා තිබෙනවා. සාමාන්‍ය තත්වය වෙනුවට කැළඹිලිකාරී නොසන්සුන් තත්වයක් පවතිනවා. රට තුළ පවතින අස්ථාවරභාවය අවසන් කිරීමට පෙර මෙම තත්වයට ක්‍ෂණික විසඳුම් ලබාගත යුතුයි. එහිදී විශේෂයෙන්ම මාස දෙක තුනක් මුළුල්ලේ සාමකාමී උද්ඝෝෂණ පැවතුණා. ප්‍රචණ්ඩකාරීත්වයට කිසිම ඉඩක් තිබුණේ නැහැ. නමුත් මහින්ද රාජපක්‍ෂ අරලියගහ මන්දිරයට මැර කණ්ඩායම් කැඳවා ම්ලේච්ඡ ප්‍රහාරයක් දියත් කොට ප්‍රචණ්ඩකාරීත්වයක් ඇති කළා. රට සන්සුන් කරන්න නම් පළමුකොටම අරලියගහ මන්දිරයේ කුමන්ත්‍රණකරුවන් වහාම අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පැමිණවිය යුතුයි. හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ, හිටපු ඇමතිවරු, ප්‍රාදේශීය සභා සභාපතිවරු, මන්ත්‍රීවරු ආදී විවිධ පුද්ගලයන් රාජ්‍ය බලය යොදාගත් බව පැහැදිලියි. ඔවුන් සියලු දෙනා වහාම අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පැමිණවිය යුතුයි.”

”මේ වනවිට ජනතාවගේ සාධාරණ ඉල්ලීම් සඳහා පවතින අරගලය යම් ප්‍රචණ්ඩකාරී මුහුණුවරක් ගෙන තිබෙනවා. පෞද්ගලික පළිගැනීම් සහ මංකොල්ලකෑම් දක්වා වර්ධනය වෙමින් තිබෙනවා. නීතිය පසිඳලන ආයතන වර්ධනය වෙමිින් පවතින මෙම තත්වය වැළැක්වීම සඳහා කියාමාර්ග ගත යුතුයි. පොලිස්පතිවරයා තමන්ගේ වගකීම් ඉටුකරමින් මෙම තත්වය වැළැක්වීමට වහාම ක්‍රියාත්මක විය යුතුයි. ඉන් පසුව මෙම තත්වය සමනය කර ගැනීම සඳහා පොදු ජනතාවට පැවරී තිබෙන වගකීම් නිසි ලෙස තේරුම් ගෙන ක්‍රියාකළ යුතුයි. පොදු ජනතාවගේ වේදනාකාරී පීඩාකාරී අත්දැකීම් තුළින් පැන නැගුණු විරෝධයන් සැලසුම්සහගත මංකොල්ලකෑම් සහ ප්‍රචණ්ඩත්වය දක්වා යන තත්වයට කිසිසේත්ම ඉඩ නොදිය යුතුයි. එය පොදු ජනතාවගේ මූලික වගකීමක්. ප්‍රචණ්ඩකාරීත්වය මුලුමනින්ම ප්‍රතික්‍ෂේප කරන ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ප්‍රචණ්ඩකාරීන්ට කිසිසේත්ම අනුබල නොදිය යුතුයි.”

”මේ තත්වය ඉක්මනින් සමනය කර නොගෙන අස්ථාවරත්වයට ක්‍ෂණික විසඳුම් ලබාදිය නොහැකියි. කෙටි කාලයකට ඇතිකර ගන්නා ස්ථාවරභාවය ස්ථිර වශයෙන්ම පවත්වාගෙන යෑම සඳහා යෝජනාවලියක් ජාතික ජන බලවේගය රට හමුවේ තබනවා.”

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...