[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

රට ඒජන්සි සංගමය (ALFEA) බියුරෝ ලොක්කන්ගේ රෙදි ගලවයි

-

Spread the love

(චම්ලි සෙනෙවිරත්න)

මෙරට කාන්තාවන් නීති විරෝධි ලෙස විදෙස් රටවල ගෘහ සේවලට විකුණන ජාවාරම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් පිරිසකගේ සබඳතාව මත සිදුවන්නක් බව බලයලත් විදේශ සේවා නියුක්ති නියෝජ්‍යායතන සංගමයේ (ALFEA) සභාපති  ෆයිරූස් මරික්කාර් මහතා පවසයි.

එයාර්පෝට් ක්ලියරින් මගඩියේ ඇත්ත හෙළිකිරීම සහ ALFEA සභාපතිට පහරදීමට එරෙහිවීම යන මැයෙන් එම සංගමය විසින් අප්‍රේල් 25 දින කොළඹදී සංවිධානය කරන ලද විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

මෙහි දී එම සංගමය විසින් පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව මේ වනවිට ලොව මිනිස් ජාවාරම් කරන රටවල් අතර ප්‍රධාන තැනක් උසුලන රටක් ලෙස නම් දරා ඇත්තේ මෙම ජාවාරම්කරුවන් නිසා බවයි.

බලයලත් විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතනය (ALFEA) යනු 1985 අංක 21 දරණ විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතට හා 1988 මාර්තු 31 අති විශේෂ ගැසට් නියෝග මත පිහිටුවන ලද ආයතනයකි.

පසුගිය සිකුරාදා (04-16) මරදාන ප්‍රදේශයේ දී එම සංගමයේ සභාපති ෆයිරූස් මරික්කාර් මහතාට මැර කණ්ඩායමක් විසින් පහර දී ඇති බවත්, මේ සම්බන්ධයෙන් මරදාන පොලිස් ස්ථානයට කළ පැමිණිල්ලකට අනුව එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස් කර ඇති බවත් ALFEA පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ මෙම පහරදීමට ප්‍රධානම හේතුව වන්නේ නීත්‍යානුකූල නොවන ආකාරයට මෙරට කාන්තාවන් මැදපෙරදිග රටවලට ගෘහ සේවයට පිටත් කර යැවීමේ මාෆියාව නැවැත්වීම සම්බන්ධයෙන් ඔවුන් දිගින් දිගටම කළ මැදිහත්වීම බලපෑ බවයි.

වයස අවුරුදු 23 සම්පූර්ණ නොවුණු, වයස අවුරුදු 5ට අඩු කුඩා දරුවන් සිටින, නිසි පුහුණුවක් නොමැති කාන්තාවන් සංචාරක විසා මගින් නීති විරෝධී ආකාරයට එක්සත් එමීර් රාජ්‍ය ඇතුළු රටවලට පිටත් කර යවන ජාවාරම පිළිබඳ හෙළි කිරීමට ALFEA නියෝජිතවරු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රයට ගොස් පසුගිය දිනක කළ වැටලීමක් හේතුවෙන් මෙම පහරදීම සිදුකොට ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

මෙරට කාන්තාවන් නීත්‍යනුකූල නොවන අයුරින් විදෙස් රටවල ගෘහ සේවයට විකුණා මුදල් උපයන ජාවාරම මේ වනවිට ආකාර 2කින් රට තුළ සිදුවෙමින් පවතින බව ALFEA සභාපතිවරයා අවධාරණය කරයි.

එහි එක් ආකාරයක් වන්නේ සංචාරක වීසා මාර්ගයෙන් මෙරටින් ගෙනගොස් විදෙස් රටවල ගෘහ සේවයේ යෙදවීම එහි එක් ක්‍රමයක් වන අතර, විශේෂයෙන් ම මෙලෙස සංචාරක (Visit Visa) වීසා මත ගෘහ සේවයට යන රටවල් අතර මැදපෙරදිග රටවල් ප්‍රධාන තැනක් ගන්නා අතරම එයින් ද වැඩිමනක් පිටත්ව යන්නේ ඩුබායි රාජ්‍යයට බව ද පෙන්වා දෙයි. මෙලෙස හොර පාරෙන් විදෙස් ගතවන එක් කාන්තාවක් වෙනුවෙන් අදාළ ජාවාරම්කරුවෝ රුපියල් එක් ලක්ෂ විසි දහසකට වඩා අධික මුදලක් විදේශ රැකියා නියුක්ති කාර්යාංශ නිලධාරීන් ඇතුළු ගුවන් තොටුපල පරිශ්‍ර නිලධාරීන් වෙනුවෙන් අල්ලස් ලෙස ලබා දෙන බව සභාපතිවරයා අවධාරණය කරයි.

මෙහි අනෙක් ක්‍රමය වන්නේ Re Entry ක්‍රමවේදය බව පෙන්වා දෙන ALFEA සභාපතිවරයා, මෙහි දී සිදුවන්නේ රජයේ නීති රෙගුලාසිවලින් රිංගා යෑමට හැකි පරිදි අලුතින් ලබා ගන්නා විදෙස්ගමන් බලපත්‍රයක් ව්‍යාජ මුදා කිහිපයක් යොදා ගනිමින් සකසා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි කර විදෙස්ගත කිරීම බව පවසයි. මෙම ව්‍යාජ ගමන්බලපත්‍ර සැකසීමේ දී මෙරට රාජ්‍ය ආයතනවල රබර් මුද්‍රා පමණක් නොව විදෙස් රටවල මුද්‍රා පවා ව්‍යාජ ලෙස සැකසීම ඉතා බරපතල ගැටලුවක් වන බවත්, එලෙස සකසන මුද්‍රා අතර ආගමන විගමන මුද්‍රා, වීසා නිකුත්කිරීමේ මුද්‍රා ද ඇතුළත් බව බවත් හෙතෙම පෙන්වා දෙයි. යම් හෙයකින් මෙම කූඨ ජාවාරම පිළිබඳ අදාළ විදෙස් රටවලට හෙළිදරව් වුවහොත් ශ්‍රී ලංකාව කෙරෙහි ඇති විශ්වාසය පළුදු වනවා සේ ම එකී රටවලට ශ්‍රී ලංකාවෙන් ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම ද නවතා දමනු ඇති බව ALFEA සභාපතිවරයා අනතුරු අඟවයි.

මෙලෙස කූඨ ලේඛන සකසා කාන්තාවන් විදෙස් රටවලට අලෙවි කරන ජාවාරම පිටුපස විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් පිරිසක් සිටින බව මෙහි දී ALFEA සභාපති ෆයිරූස් මහතා විශේෂයෙන් සඳහන් කළේය.

එමෙන්ම මෙම ජාවාරමේ ප්‍රධාන මධ්‍යස්ථානයක් වන්නේ කුරුණෑගල පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වයඹ කාර්යාලය බව ද ඒ මහතා අවධාරණය කළේය. එහි නිලධාරීන් පිරිසක් මේ සඳහා සෘජුවම මැදිහත්ව කටයුතු කරන බවට චෝදනා කළ ෆයිරූස් මහතා පෙන්වා දුන්නේ මෑතක දී පුවත්පත් වාර්ථාවකින් ද ඒ පිළිබඳ හෙළිකර තිබුණු බවයි. විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරීන් දිනකට ලක්ෂ 50කට වැඩි ආදායමක් මෙලෙස උපයන බව එම පුවත්පතේ සඳහන්ව තිබුණු බවද ALFEA සභාපතිවරයා සිහිපත් කළේය.

මෙම ජාවාරමට අදාළ සියලු තොරතුරු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයාට මෙන්ම විෂය භාර අමාත්‍යවරුන් හට ද තම සංගමය විසින් සාක්ෂි සහිතව ලබා දී ඇතත් මේ වනතෙක් එය නැවැත්වීමට ඔවුන් පියවර ගෙන නොමැති බැවින් අමාත්‍යවරුන්ටත් එම මුදල්වලින් යම් කොටසක් යනවාදැයි සැකයක් මතුවන බව ද ෆයිරූස් මහතා පැවසීය.

කෙසේ වෙතත් අවශ්‍ය ඕනෑම අවස්ථාවක බලයලත් විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතනය වශයෙන් මෙම ජාවාරම නවතා දැමීමට මුල් වී කටයුතු කරන ඕනෑම අයකුට හට එහි සියලු තොරතුරු සාක්ෂි සහිතව ඉදිරිපත් කිරීමට තම සංගමය සූදානම් බවද ඒ මහතා පැවසීය.

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...