හත් හැවිරිදි දැරියක බරපතල ලෙස ලිංගික අපයෝජනය කළ වයස අවුරුදු 53ක තැනැත්තකුට වසර 18ක සිර දඬුවම් සහ රුපියල් හතලිස් දහසක දඩ නියම කිරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු ලාල් ආර්. බණ්ඩාර මහතා ඉකුත් මැයි 7 වැනි දා නියෝග කළේය.
මෙලෙස සිර දඬුවම් නියම කෙරුණේ කුරුණෑගල කුඹුක්ගැටේ ප්‍රදේශයේ පදිංචි වලව්ව මහගමගේ සරත් කුමාර (අවු.53) නම් දරු තිදෙනෙකුගේ පියකු වන විවහක වැඩිහිටි පුද්ගලයකුට ය.
2017 වසරේ මෙම සිදුවීමට මුහුණ දෙන අවස්ථාව වනවිට දැරිය වයස අවුරුදු 7ක පසු වූ අතර, විත්තිකරු අවුරුදු 45ක දරුවන් සිටින විවහකයෙකි.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා පෙන්වා දුන්නේ විත්තිකරු දරුවන් සිටින වැඩිහිටියකු බවත් වින්දිත තැනැත්තිය ඉතා කුඩා වයසේ පසුවන නොමේරූ දැරිවියක් බැවින් මෙය ඉතා බරපතල වරදක් බව ය. කුඩා දරුවන් ආරක්ෂා කිරීම වැඩිහිටියන්ගේ වගකීම ලෙස තිබිය දී, තමාගේ දරුවකු ලෙස සැලකිය යුතු කුඩා දැරිවියක් විත්තිකරු තම පහත් ආශාවන් ඉටු කර ගැනීම සඳහා භාවිත කර ඇති බවත් පෙනී යන බව ද විනිසුරුවරයා පෙන්වා දුන්නේ ය. ඇය මේ වනවිටත් ළමා නිවාසයක ජීවත් වෙයි. විත්තිකරු මුල් අවස්ථාවේ දී නිවැරැදිකරු බව කීම නිසා තමා අකමැති එම සිද්ධිය නැවත නැවත සිහිපත් කිරීමෙන් දැරිවිය විශාල මානසික පීඩනයකට ලක්ව තිබේ. ඇගේ පුද්ගලික පෞරුෂයට එයින් දැඩි බලපෑමක් එල්ල වීම විශාල හානියක් බව ද පෙන්වා දුන් විනිසුරුවරයා පැවසුවේ විත්තිකරුට දඬුවම් නියම කිරීමේ දී අනාගතයේ යම් තැනැත්තකුට මෙවැනි සිතුවිල්ලක් පහළවීම මැඩපැවැත්වීමට බලපාන ලෙස දඬුවම් ලබා දෙන බව ය.
දඬුවම් ලබා දීමේ දී මන්දිකාර කරුණු ලෙස තිදරු පියකු විත්තිකරු හෘද සැත්කම් තුනකට භාජනය වූ රෝගියකු බවද ඉදිරිපත් කර තිබුණත් ඒවා සනාථ කිරීමට පිළිගත් සාක්ෂි අධිකරණය වෙත ඉදිරිපත් කර නොතිබුණි. ඒ අනුව චෝදනා දෙකකට වරදකරු කරමින්
විත්තිකරුට දඬුවම් නියම කළ අතර, චෝදනා පත්‍රයේ දෙවැනි චෝදනාවට වසර 3ක බරපතල වැඩ ඇතිව සිරදඬුවම් නියම කළ මහාධිකරණය ඊට අමතවර රුියල් පහළොස් දහසක දඩ නියම කළේය. එය නොගෙවන්නේනම් තවත් මාස 6ක ලිහිල් සිර දඬුවමක් නියම කළේය. 3වැනි චෝදනාව වන බරපතල ලිංගික අපයෝජනයට වසර 15ක සිර දඬුවම් හා රුපියල් විසි පන්දහසක දඩ නියම කළේය. දඩ මුදල නොගෙවන්නේනම් තවත් මාස 6ක ලිහිල් සිර දඬුවමක් නියම කළේ ය. සිර දඬුවම් වෙන් වෙන්ව ගෙවී යන සේ දඬුවම් නියම කළ අතර, වින්දිත තැනැත්තියට ලක්ෂ දහයක වන්දි මුදලක් ලබා දෙන ලෙසද නියෝග කළේය.
(ජනක බලල්ල)