වැලිකඩ පොලීසිය භාරයේ සිටියදී මරණයට පත් වූ බව කියන මීගහකිවුල ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි නිමේෂ් සත්සර නම් තරුණයාගේ මළසිරුර භූමදානයෙන් දින 21කට පසුව අද (23) පෙරවරුවේ බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා ඉදිරියේ යළි ගොඩගෙන ඇත.
මියගිය නිමේෂ්ගේ මව විසින් කරන ලද පැමිණිල්ලක් අනුව ඉකුත් 09වනදා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩුවකදී දුන් නියෝගයකට අනුව මළසිරුර මෙලෙස ගොඩගෙන තිබේ.
තම දරුවා අප්‍රේල් මස 01වැනි දා වැලිකඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව පොලිස් භාරයේ සිටිය දී වධ හිංසාවලට ලක්ව මියගොස් ඇති බවට කරන ලද පැමිණිල්ලක් මත රහස් පොලීසිය විසින් කරන ලද විමර්ශනය කැඳවූ අවස්ථාවේ දී අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.
මෙහිදී මෘත දේහය යළි ගොඩගෙන ත්‍රිපුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයකින් සමන්විත විශේෂ කමිටුවකින් පශ්චාත් මරණ පරීක්ෂණයක් යළි පවත්වන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා විසින් ලබා දෙන ලද තීන්දුවක් මත ඉකුත් 09වැනි දා පස්වරුවේ සිට මියගිය නිමේෂ් සත්සරගේ සුසානය වෙත කන්දකැටිය පොලීසිය මගින් ආරක්ෂාව සපයා දී තිබිණි.
ඒ අනුව අද ගොඩගත් නිමේෂ්ගේ මළසිරුර කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ගියේය.
කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අධිකරණ වෛද්‍ය නිලධාරීන්, කරාපිටිය සහ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය නිලධාරීන් පිරිසක්, බදුල්ල පොලිස් අපරාධ කොට්ටාශයේ හා කන්දකැටිය පොලීසියේ නිලධාරීන් ද මෙම අවස්ථාවට ඇත.
(ජනක බලල්ල)