මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයට නීතිගරුක, මාධ්‍ය සදාචාරයන් ආරක්ෂා කරගත්, පරිපූර්ණ වෘත්තීය නිපුණත්වයකින් හෙබි ජනමාධ්‍යවේදීන් එක්කර ගැනීම සඳහා මාධ්‍යවේදීන්ගේ දැනුම, කුසලතා වර්ධනය කරගනිමින් සිය වෘත්තීය නිපුණතා වර්ධන කර ගැනීමට අවස්ථාව සලසා දීම වෙනුවෙන් වැඩසටහන් රාශියක් දීපව්‍යාප්තව සංවිධානය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිතයන් සමග පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිණි.
තවද, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය අධ්‍යයන, සුභසාධන, මෙන් ම අනෙකුත් නිපුණත්වයන් ඉහළ දැමීම අරමුණු කරගත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද අමාත්‍යවරයා යෝජනා කරයි.
ජනමාධ්‍යවේදීන් සදහා රක්ෂණාවරණයක් ඇති කිරීම, ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ ස්වයං නියාමනයන් ඇති කර ගැනීම යන කරුණු පිළිබඳ මෙහි දී දීර්ඝ ව සාකච්ඡාවට ගත් අතර මුදල් අමාත්‍යාංශය සහ ඊට අදාළ අනෙකුත් අංශ සමඟ ද සාකච්ඡා කර ඒ සදහා ක්‍රමවත් වැඩපිළිවෙළක් කඩිනමින් සකස් කරන බව ද අමාත්‍යවරයා කියයි.
තවද, මෙරට ජනමාධ්‍යවේදීන්ගේ මාධ්‍ය විෂය පිළිබඳ වෘත්තීය දැනුම ප්‍රවර්ධනය කර ගැනීමට අවස්ථාව සලසා දීම හා වෘත්තියට වටිනාකමක් එක්කර දීම සදහා මාධ්‍ය පිළිබඳ වරලත් ආයතනයක් ස්ථාපනය කිරීම පිළිබද මෙහි දී අවධානය යොමු වූ අතර ඊට අදාළ මුලික පියවරයන් මේවන විටත් ක්‍රියාත්මක කර අවසන් බව ද, අමාත්‍යවරයා මෙහි දී එම මාධ්‍ය නියෝජිතයන් හමුවේ පවසා ඇත.
ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සදහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් අංග සම්පූණ අධ්‍යයන පාඨමාලාවන් ආරම්භ කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහි දී දැනුම් දී ඇත.
ජනමාධ්‍යවේදීන් සදහා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් වාර්ෂිකව ලබා දෙන ජනමාධ්‍ය හැඳුනුම්පත ලබා දීමට පෙර නියාමනයක් සිදු කර එම හැදුනුම්පත් ලබා දෙන ලෙසට එම නියෝජිතයන් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර සිටි අතර, මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහා ද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත්කර තිබු බවත් මින් ඉදිරියට එවැනි වැරදි සිදු නොවීමට දැඩි තීරණයක් ගෙන තිබෙන බවත් අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.
මෙහි දී, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිතයන් සිය ඉල්ලීම් ඇතුළත් යෝජනාවලියක් අමාත්‍යවරයාට භාරදීම ද සිදුවිය.
මෙම සාකච්ඡාමය අවස්ථාවට මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ජාතික සංවිධායක තරිඳු උඩුවරගෙදර, ප්‍රධාන ලේකම්, ධර්මසිරි ලංකාපේලි, උපලේකම් ඉන්දිරා ප්‍රියදර්ශනී, භාණ්ඩාගාරික රිස්වාන් සේගු සහ ප්‍රාදේශීය මාධ්‍යවේදීහු කිහිප දෙනෙක් ද එක් ව සිටියහ.
(ජනක බලල්ල)