ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති ගරු ඇන්ඩ්‍රෙස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගැරිඩෝ (Andrés Marcelo González Garrido) පසුගියදා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න හමුවිය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර ද සහභාගී වූවාය.
ගරු කථානායකවරයාට උණුසුම් සුබ පැතුම් එක් කළ තානාපතිවරයා අවධාරණය කර සිටියේ ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩ සහයෝගීතාව පවත්වාගැනීමට අපේක්ෂා කරන බවයි.
විශේෂයෙන් ඩෙංගු රෝගය මර්දනය ඇතුළු සෞඛ්‍ය අංශය ශක්තිමත් කිරීම සඳහා කියුබාවේ සහයෝගය තවදුරටත් ලබාදෙන බව තානාපතිවරයා පැවසීය.
නව කථානායකරයාගේ පත්වීම සම්බන්ධයෙන් කියුබානු ජනරජයේ මහජන බලවේගයේ ජාතික සභාවේ සභාපතිවරයාගේ (President of the National Assembly of People’s Power) සුභ පැතුම් පනිවුඩය ද තානාපතිවරයා කථානායකවරයා වෙත මෙහිදී භාර දෙන ලදී.
1959 වසරේදී ආරම්භ වූ ශ්‍රී ලංකාව සහ කියුබාව අතර දිගුකාලීන මිත්‍රත්වය මෙහිදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සිහිපත් කළ අතර, දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව පැවසීය.
ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දනය සඳහා කියුබානු රජය ලබා දුන් සහයෝගය පිළිබඳව ද කථානායකවරයා මෙහිදී සිය කෘතඥතාව පළ කළේය.
නව රජයේ “Clean Sri Lanka” වැඩසටහන පිළිබඳව අදහස් දැක්වූ කථානායකවරයා, ජනවාර්ගික හෝ ආගම් භේදයකින් තොරව සියලුම ශ්‍රී ලාංකිකයන් දූෂණයෙන් තොර, සංවර්ධිත රටක් නිර්මාණය කිරීම සඳහා කැපවන බව අවධාරණය කළේය.
එසේම ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – කියුබානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නැවත ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බව ද කථානායකවරයා ප්‍රකාශ කළේය.
(චම්ලි බලල්ල)