හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂම විසින් නඩු තුනක් පවරනු ලැබ තිබේ.
අදාළ නඩු ජනවාරි මස 8 වැනි දා කොළඹ මහාධිකරණයේ දී පවරා ඇත.
නඩු අංක HCB/353/2025 යටතේ සිවිල් ගුවන් සේවා අධිකාරිය මඟින් වෙසක් සුබපැතුම් පත් 3,000ක් මුද්‍රණය කරවා ගැනීමෙන් ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියට රුපියල්128,520ක මුදලක පාඩුවක් සිදුවීමේන් දූෂණය නම් වරද සිදුකිරීම ඉන් එක නඩුවකි.
නඩු අංක HCB/354/2025 යටතේ සිවිල් ගුවන් සේවා අධිකාරිය මඟින් රුපියල් 360,000ක මුදලක් මහවැව වී හේන ෆාම් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය වෙත ගෙවීම සඳහා සිවිල් ගුවන්සේවා අධිකාරියේ නිලධාරීන් පෙළඹවීමත්, එකී මුදල අහිමිවීමෙන් පාඩුවක් සිදුකිරීම මගින් දූෂණය නම් වරද සිදුකිරීම දෙවැනි නඩුව ය.
නඩු අංක HCB/3552025 යටතේ සිවිල් ගුවන් සේවා අධිකාරිය මඟින් රුපියල් 494,000ක මුදලක් හලාවත ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගිණුමකට බැර කිරීම සඳහා සිවිල් ගුවන්සේවා අධිකාරියේ නිලධාරීන් පෙළඹවීමෙන් එකී මුදලක පාඩුවක් සිදුකිරීම මගින් දූෂණය නම් වරද සිදුකිරීම ඔහුට විරුද්ධව පවරා ඇති තුන් වැනි නඩුව ය.
(ජනක බලල්ල)