16.8 C
Sri Lanka
Sunday, February 9, 2025

වයඹ ගුරු ගැටලු ගැන ආණ්ඩුකාරවරයා හා ලංකා ගුරු සංගමය අතර සාකච්ඡාවක්

වයඹ පළාත් ආණ්ඩුකාරවරයා සහ ලංකා ගුරු සංගමය අතර සාකච්ඡාවක් වයඹ පළාත් සභාවේ දී ඊයේ (23) පැවැත්වුණි.

මෙහි දී අන්තර් කලාප සහ අන්තර් පළාත් මාරුවීම්, ගුරුවරුන්ගේ උසස් වීම් සහ හිඟ වැටුප්, විදුහල්පති සේවයේ ස්ථාන මාරු, ගුරු විදුහල්පති විනය ගැටලු, වයඹ පළාත් පාසල්වල සෝලා පැනල් සවිකිරීම, පාසල් වලට දරුවන් ඇතුළත් කිරීම, පුත්තලම මහව නිකවැරටිය කලාප සහ දුෂ්කර පාසල්වල ගුරු හිඟය, පාසල්වල අබලන් ගොඩනැගිලි අලුත් වැඩියාව සහ සම්පත්ලබාදීම ඇතුළු කරුණු පිළිබඳ ගුරු සංගම් නියෝජිතයන් හා නිලධාරීන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

මේ අතර, 2024 වර්ෂයේ දී වයඹ පළාත සඳහා උපාධිධාරි ගුරුවරුන් බඳවාගැනීමට පැවැත්වූ තරග විභාගයෙන් ගුරුවරු 2500 බඳවාගෙන තිබෙන බවත්, ඒ සඳහා වට තුනකින් බඳවා ගැනීම් සිදුකළත් හැත්තෑවක පමණ පිරිසක් පත්වීම් භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවත්, මෙම සාකච්ඡාවේ දී හෙළිව තිබේ.

මෙතෙක් කල් නවක ගුරුවරුන් බඳවාගැනීමේ ක්‍රියාවලියේ දී අධ්‍යාපන බලධාරීන් හිතුමතේ ක්‍රියාකර ඇති බව මෙහි දී පෙන්වා දුන් ලංකා ගුරු සංගමය, ඉදිරියේදී නවක ගුරුවරුන් මෙන්ම පළාත් කලාප මාරුවීම් ලබා පැමිණෙන ගුරුවරුන් ස්ථානගත කිරීමේ ක්‍රියාවලියට ගුරු සංගම්වල සහභාගීත්වය ද ලබා ගන්නා ලෙස යෝජනා කර තිබේ.

ඉදිරියේ දී බඳවා ගන්නා ගුරුවරුන් ස්ථානගත කිරීමේදී දුෂ්කර පාසල්වල දැනට සේවය කරන ගුරුවරුන්ට පහසු පාසලක් ලබාදීම සඳහා කටයුතු කිරීමට මෙහි දී ආණ්ඩුකාරවරයා ප්‍රමුඛ පළාත් අධ්‍යාපන ප්‍රධානීන් එකඟතාව පලකර තිබේ.

වයඹ අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් 2024 වසරේ පමණක් ගුරුවරු 200කට වැඩි පිරිසකට මාරුවීම් ලබා දී ඇති බව ලංකා ගුරු සංගම් නියෝජිතයන් විසින් මෙම සාකච්ඡාවේ දී ආණ්ඩුකාරවරයාට හෙළි කරනු ලැබ තිබේ.

තවද, 2022 කොවිඩ් කාලසීමාවේ දී එවකට පැවැති රජය විසින් හොර රහසේ අත්සන් කරන ලද ගිවිසුමක් මගින් පාසල් තුළ ක්‍රියාත්මක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් පිළිබඳව ලංකා ගුරු සංගමය ආණ්ඩුකාරවරයාගේ අවධානය යොමු කර ඇත.

එම ව්‍යාපෘතිය යටතේ වයඹ පළාත තුළ මෙගාවොට් 160ක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන අතර, එමගින් පාසලක විදුලි බිල්පත ගෙවීමට තරම්වත් ප්‍රතිලාභයක් පාසලට නොලැබෙන බව ගුරු සංගමය පෙන්වා දෙයි. එහි අක්‍රමිකතා පිළිබඳ මෙම සාකච්ඡාවේ දී විශේෂ අවධානය යොමුව තිබෙන අතර පාසලකට අවම වශයෙන් 25%ක ප්‍රතිලාභයක් ලැබෙන පරිදි එම ව්‍යාපෘතිය විධිමත් කරන ලෙස ද ඔවුන් ඉල්ලා ඇත.

පාසල් සංවර්ධන සමිති පිළිබඳ ඇති චක්‍රලේඛ උල්ලංගනය කරමින් පාසල්වල සිදුකෙරෙන අනවශ්‍ය මුදල් එකතු කිරීම් හා එම ගිණුම්වල විනිවිද භාවය පිළිබඳ ඇති බරපතල ගැටලු පිළිබඳව ද වෘත්තීය සමිති නියෝජිතයන් විසින් මෙම සාකච්ඡාවේ දී ආණ්ඩුකාරවරයා දැනුවත් කරනු ලැබ තිබේ.

මෙම සාකච්ඡාවට ලංකා ගුරු සංගමය පාර්ශ්වයෙන් එහි ලේකම් ජෝසප් ස්ටාලින්, සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු, උප සභාපති අශෝක චන්ද්‍රසේකර ඇතුළු නියෝජිතයන් පිරිසක් සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරයාගේ පාර්ශ්වයෙන් වයඹ පළාත් ප්‍රධාන ලේකම්, වයඹ ආණ්ඩුකාර ලේකම්, වයඹ පළාත්අධ්‍යාපන අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී ඇත.

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles