17.8 C
Sri Lanka
Sunday, February 9, 2025

රජයේ ප්‍රමුඛ ව්‍යාපෘති සඳහා ලෝක බැංකුවෙන් මූල්‍ය හා තාක්ෂණික සහාය

රජයේ ප්‍රමුඛ ව්‍යාපෘති සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට කටයුතු කරන බව ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ උප සභාපති මාර්ටින් රේසර් (Martin Raiser) පවසා තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක හා ලෝක බැංකු නියෝජිතයන් අතර ජනාධිපති කාර්යාලයේ අද (21) පැවති හමුවේදී  ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ උප සභාපති මාර්ටින් රේසර් මේ බව කියා සිටියේය.

තරුණ තරුණියන්ට රැකියා උත්පාදනය කිරීමේ වැඩසටහන, ක්ලීන් ශ්‍රී ලංකා, ග්‍රාමීය දිළිඳුබව තුරන් කිරීම, හා ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ලෝක බැංකුවේ මූල්‍ය සහ තාක්ෂණික ආධාර ලබාදීමට මෙහිදී එකඟතාව පළකර තිබේ.

ඒ අනුව අධ්‍යාපන, බලශක්ති, ඩිජිටල්කරණ හා උතුරු සංවර්ධනය සඳහා වූ නව ව්‍යාපෘති සඳහා ආධාර ලබාදීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇත.

ලෝක බැංකුව මඟින් ශ්‍රී ලංකාවට ලබාදීමට අනුමත ණය ආධාර නියමිත දිනට ලබාදීමට කටයුතු කරන බවද මාර්ටින් රේසර් සඳහන් කර තිබේ.

මෙහිදී අදහස් දැක් වූ  ජනාධිපතිවරයා  සඳහන් කළේ අධ්‍යාපන ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමෙන් ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීමට හැකි බවය.

ඒ සඳහා නව රජය ආරම්භ කර තිබෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු සඳහාද, පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයෙහි සංවර්ධනය සඳහාද අවශ්‍ය ආධාර ලබාදෙන ලෙස ජනාධිපතිවරයා මෙහිදී ලෝක බැංකු නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් 28%ක් කෘෂිකාර්මික ක්ෂේත්‍රය නියෝජනය කළත්, ශ්‍රී ලංකා ආර්ථිකයට  කෘෂිකාර්මික ක්ෂේත්‍රයෙන් ලබාදෙන දායකත්වය දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් පමණක් වීම ප්‍රමාණවත් නොවන බව  ජනාධිපතිවරයා  පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාවේ ජන ඝනත්වය අනුව ජනතාවට අවශ්‍ය පහසුකම් ලබාදීමට නව රජය ගෙන යන වැඩපිළිවෙළ මෙහිදී ජනාධිපතිවරයා විසින් ලෝක බැංකු නියෝජිතයින්ට පැහැදිලි කළේය.

තරුණ ප්‍රජාව සඳහා රැකියා උත්පාදනය සම්බන්ධයෙන් රජය සතු වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර, 2025 වසරේදී මෙරටට වැඩිපුර සංචාරකයින් ආකර්ෂණය කිරීම සඳහා නව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් විය.

ගුවන්තොටුපොළ හා වරාය සංවර්ධනය සඳහා නව සැලසුම් ක්‍රියාත්මක කරන බවත් වරාය සංවර්ධනය කිරීම කඩිනමින් සිදුකරන බවත්  ජනාධිපතිවරයා   ප්‍රකාශ කළේය.

විශේෂයෙන්ම උතුරු සංවර්ධනය සඳහා රජය වැඩි අවධානයක් යොමු කර ඇති බවත් උතුරේ ආයෝජන කලාප තුනක් ඇති කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

උතුරේ සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීම, ජල පහසුකම් ලබාදීම, උතුරේ ජනතාවගේ සමාජ ප්‍රශ්නවලට ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතා රැක ගනිමින් විසඳුම් සෙවීමටද කටයුතු කරන බව  ජනාධිපතිවරයා   පවසා ඇත.

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles