මැදපෙරදිග රටවලට පිටත්ව යන ගෘහ සේවිකා කාණ්ඩය සඳහා අනිවාර්ය කර තිබුණු විශේෂ රක්ෂණාවරණයක් ඉකුත් 12 වැනි දා සිට නැවතී තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
කාර්යාංශය පෙන්වා දෙන්නේ මෙම රක්ෂණාවරණය සඳහා විදේශිය සමාගම් 4ක් නම්කර තිබුණු අතර, එම සමාගම් සමග තිබුණු ගිවිසුම් නැවත අලුත් නොකිරීමෙන් මෙලෙස එය නැවතී ඇති බව ය.
සමාගම් 2ක ගිවිසුම් කාලය ඉකුත් දෙසැම්බර් මාසයේ අවසන් වී ඇති අතර, ඉතිරි සමාගම් 2හි ගිවිසුම් ද ජනවාරි 12 වැනි දා සිට අවසන් වීමෙන් මෙම රක්ෂණ ක්‍රමය සම්පූර්ණ ලෙස මේ වනවිට නැවතී තිබේ.
විදේශ රැකියා ඇමැතිවරයා ලෙස මනූෂ නානායක්කාර පත්වීමෙන් පසු 2023 වසරේ මුල සිට මෙම රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කෙරිණි.
මෙම රක්ෂණාවරණ ක්‍රමය වසර දෙකක කාලයක් ක්‍රියාත්මක වුණු අතර, අදාළ ගිවිසුම් නැවත අලුත් කිරීමට කාර්යාංශය කටයුතු කර නැත.
ශ්‍රී ලංකා විදේශී සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී මැදපෙරදිග රටකට විදෙස්ගත වන සෑම ගෘහ සේවිකාවක් සඳහාම 2023 ජනවාරි මාසයේ සිට මෙම රක්ෂණාවරණය අනිවාර්ය කරමින් එහි සාමාන්‍යාධිකාරීවරයා විසින් චක්‍රලේඛයකින් නිකුත් කරන ලද අතර, මැදපෙරදිග රටවල රැකියා නියෝජිතයන් විසින් ඊට අදාළ මුදල් ගෙවීම් සිදුකරන ලදී.
කෙසේ වෙතත් එකී රක්ෂණාවරණය මගින් ආවරණය කර තිබුණු කිසිදු ප්‍රතිලාභයක් රක්ෂිතයන් වෙත නොලැබුණු බවටත්, ඒ පිළිබඳ දැනුවත් කළත් නිසි මැදිහත්වීමක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සිදු නොවුණු බවටත් විදේශ රටවල රැකියා නියෝජිතයන් දිගින් දිගටම චෝදනා කර තිබුණි.
තවද, මෙම රක්ෂණාවරණන් කිසිදු ප්‍රෙයා්ජනයක් නොමැති බැවින් එය ඉවත් කරන ලෙස ඔහුන් දිගින් දිගටම කාර්යාංශයෙන් සහ අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබුණි.
එසේම, රක්ෂණාවරණය වෙනුවෙන් අදාළ සමාගම් වෙත ගෙවන මුදල්වලින් යම් කොමිස් මුදලක් හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරට හෝ ඔහුගේ පාර්ශ්වට ලැබෙන චෝදනා එල්ල වී තිබුණි.
(ජනක බලල්ල)