23.2 C
Sri Lanka
Sunday, March 16, 2025

ඊශ්‍රායල් කෘෂිකාර්මික පුහුණුව ගැන නිවේදනයක්

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා සුදුසු ශ්‍රමිකයින් තෝරාගැනීමට ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ පැවැත්වූයේ සියළු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ සඳහන් කර තිබේ.

පසුගියදා (2025.01.08) දියගම ක්‍රිඩාංගනයේදී, ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා යෝග්‍ය ශ්‍රමිකයින් තෝරාගැනීම සඳහා ශාරීරික පරීක්ෂණ පැවැත්වූ අතර, එහිදී තරුණයින් කිහිප දෙනෙකු අසනීප වීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තාවලට පිළිතුරු වශයෙන් සභාපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

පසුගිය සමයේ ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත් කරන ලද ශ්‍රමිකයින් මෙවැනි යෝග්‍යතා පරීක්ෂණයකින් තොරව එරට සේවය කිරීම සඳහා යොමුකළ අතර, එම ශ්‍රමිකයින්හට අවශ්‍ය ශක්‍යතා මට්ටමට සරිලන පරිදි සේවය කිරීමට නොහැකි වීම හේතුවෙන් තවදුරටත් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් බඳවා ගැනීම තාවකාලිකව අත්හිටුවීමට ඊශ්‍රායල් බලධාරීන් කටයුතු කර ඇත.

එසේම යොමුකරන ලද ශ්‍රමිකයින්ගෙන් 80% ක ප්‍රමාණයක් සේවා ස්ථානවලින් පැන ගොස් තිබීමද ශ්‍රි ලාංකිකයින් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා සඳහා යොමුකිරීමට විශාල ගැටළුවක් වී  තිබේ  .

මෙම ගැටළුව පිළිබඳව කාර්යාංශයේ නිළධාරීන් ඊශ්‍රායල් බලධාරීන් සමග සාකච්ඡා කළ අතර, ඊට පිළිතුරු වශයෙන්, කෘෂි රැකියාවල ස්වභාවය අනුව වෙහෙසී කටයුතු කිරීමට සිදුවන බැවින් ඊට සුදුසු ශාරීරික යෝග්‍යතාවයන් සපුරාලන ශ්‍රමිකයින් පමණක් යොමුකරන ලෙස ඊශ්‍රායල් බලධාරීන් දන්වා සිටි අතර, ඒ සඳහා අවශ්‍ය මාර්ගෝපදේශයන්ද ඊශ්‍රායලයේ PIBA ආයතනය විසින් ලබාදී  තිබේ  .

ඒ අනුව ශ්‍රි ලංකා යුධ හමුදාවේ සහයෝගය ඇතිව, වෛද්‍යවරයෙකු හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් මෙම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ පැවැත්වන ලද අතර, පරීක්ෂණයට පෙර ඒ සඳහා අදාළ ශ්‍රමිකයින්ගේ කැමැත්ත ලබාගෙන  තිබේ  .

මෙම පරීක්ෂණයෙන් සමත්වන ශ්‍රමිකයින් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා යොමුකිරීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය බලාපොරොත්තු වේ.

මෙම ක්‍රියාමාර්ගය කාර්යාංශය විසින් ගනු ලැබුවේ දැනට තාවකාලිකව ඇණහිටී ඇති ඊශ්‍රායල් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථාවන් සුදුසු ශ්‍රි ලාංකිකයින්ට උදාකර දීමේ අරමුණ පෙරදැරි කරගෙන බව කාර්යාංශය වැඩිදුරටත් දන්වා සඳහන් කර ඇත.

මේ වන විට ශ්‍රි ලාංකිකයින් 15,200 ක් ඊශ්‍රායලයේ රැකියාවල නිරතවන බව කාර්යාංශ දත්ත වාර්තා පෙන්වා දී තිබේ.

(චම්ලි බලල්ල)

More news>>>

Latest Articles