මහ කන්නය සඳහා පොහොර සහනාධාරය ලෙස රුපියල් 25000ක් සහ රතුකුඩු පොහොර නොමිලේ ලබා දීමට රජය කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කර තිබේ.
ගොවීන් සඳහා පොහොර සහනාධාරය ලබා දීමට රජයේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජනවාරි 8 වන දින පාර්ලිමේන්තු විවාදයේදී මතු වූ ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමිනුයි අග්‍රාමාත්‍යවරිය මේ බව පවසා ඇත.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
ඒ ඒ දිස්ත්‍රික්ක සඳහා පොහොර සහනාධාරය ලබා දිය යුතු කාල වකවානුව 2024 ඔක්තෝබර් පළවෙනි සිට 2025 පෙබරවාරි පළමුවනදා දක්වායි. ඒ සදහා රුපියල් 25000ක පොහොර සහනාධාරය රුපියල් 15000ක වාරිකයක් සහ රුපියල් 10000ක වාරිකයක් වශයෙන් අදියර දෙකකදී ලබා දීමට කටයුතු කරනවා. මේ වනවිට රුපියල් 15000ක පළමු වාරිකය ලබා දීලා තිබෙනවා. ගොවීන්ගේ පොහොර අවශ්‍යතාවය සපුරාලීම සඳහා සාධනීය සහ විධිමත් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට අප රජය කටයුතු කිරනවා. ඒ සඳහා මේ වනවිට ගොවි සංවිධාන මගින් අදහස් ලබා ගනිමින් පවතින බවද අග්‍රාමාත්‍යවරිය පවසා ඇත .
කුඹුරු ඉඩම් වල වී වගා කරන ගොවීන් සඳහා ලබා දෙන මූල්‍ය සහනාධාරයට අමතරව මියුරියේට් ඔෆ් පොටෑෂ් මෙට්‍රික් ටෝන් 25239 දශම හතයි තුනක ප්‍රමාණයක් රජය විසින් නොමිලේ ලබාදීමට මේ වන විට සැලසුම් කර ඇති බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කර තිබේ .
(චම්ලි මදුහංස)