මෙරට ජීවත්වන ජනතාවට ගුණාත්මක, ප්‍රශස්ථ සහ විධිමත් නිදහස් සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව ලබා දීම සඳහා ඉදිරි තෙවසර තුළදී ප්‍රධාන ධාරාවන් පහක් ඔස්සේ මෙරට සෞඛ්‍ය සේවාව සංවර්ධනය කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසා තිබේ.
අමාත්‍යවරයා මෙම අදහස් දැක්වුයේ ආයුර්වේද වෛද්‍ය සභාවට සාමාජිකයන් පත් කිරීම වෙනුවෙන් ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රධානය කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
එම පත්වීම් ලිපි ප්‍රධානය පසුගියදා මහරගම, නාවින්න ආයුර්වේද දෙපාර්තමේන්තුවේදී සිදුව තිබේ.
ආයුර්වේද වෛද්‍ය සභාව සභාපතිවරයා ඇතුළුව සාමාජිකයින් 23 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඊට අදාල පත්වීම් ලිපි ප්‍රධානයෙන් අනතුරුව පළමු ආයුර්වේද වෛද්‍ය සභා සැසිවාරය ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී පවත්වා තිබේ.
තවද ඉදිරි කාලය තුළ මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම, ද්විතීක හා තෘතීයීක අංශයේ සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම, රට තුළ දේශීය ඖෂධ නිෂ්පාදනය සහ ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ඖෂධ අඛණ්ඩව රෝහල් සහ සෞඛ්‍ය ආයතන වලට සැපයීම, මෙරට ජනතාවගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීමට කටයුතු කිරීම, සහ සෞඛ්‍ය සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම යන ප්‍රධාන ධාරාවන් 5 ඔස්සේ සෞඛ්‍ය සේවාව විශිෂ්ට මට්ටමකට ඔසවා තැබීමට සැළසුම් සකස් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.
මෙම අවස්ථාවට ආයුර්වේද කොමසාරිස් ජනරාල් වෛද්‍ය ධම්මික අබේවික්‍රම ඇතුලු ආයුර්වේද වෛද්‍ය සභාවට අලුතින් පත් වු සාමාජිකයින්, ආයුර්වේද වෛද්‍යවරුන්, නිලධාරීන් ඇතුලු පිරිසක් සහභාගි වී ඇත.
(චම්ලි මදුහංස)