20 C
Sri Lanka
Friday, January 24, 2025

පිටරටින් හොරෙන් ගේන Phone ගැන රජයේ අළුත්ම තීරණය මෙන්න…

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) ලියාපදිංචි නොකළ සිම්පත් භාවිත කෙරෙන දුරකතන හෝ උපාංග කිසිවක් ජනවාරි 29 වැනි දා සිට රට තුළ සක්‍රීය නොකරන බව එම කොමිසම නිවේදනය කරයි.

ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි නොවූ IMEI සක්‍රීය උපාංග ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණින් IMEI (ජාත්‍යන්තර ජංගම උපකරණ හැඳුනුම්) ලියාපදිංචි කිරීමේ ක්‍රමය මෙලෙස ක්‍රියාත්මක කිරීමට එම කොමිසම කටයුතු යොදා ඇත.

ඒ අනුව මෙරට භාවිත කෙරෙන සියලුම ජංගම දුරකතන, ටැබ්ලට් පරිගණක, ඩොන්ගල් වැනි සිම්පත් භාවිත කෙරෙන උපාංග මිල දී ගන්නා විට  TRCSL අනුමත උපාංග පමණක් මිල දී ගන්නා ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලයි.

TRCSL විසින් අනුමත කරන ලද IMEI අංක සහිත (SIM/e-SIM) උපාංග TRCSL විසින් නිකුත් කරන ලද වලංගු විකුණුම් බලපත්‍රයක් සහිත වෙළෙඳ ආයතනවලින් පමණක් මිල දී ගන්නා ලෙස ද  ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ජනතාවට දැනුම් දෙයි.

කෙසේ වෙතත් 2025 ජනවාරි 29 වැනි දා සිට බලපැවැත්වෙන TRCSL හි ලියාපදිංචි නොකළ SIMපත් සහිත උපාංග කිසිවක් රටතුළ ක්‍රියාත්මක නොවන බව විදුලි සංදේශ නියාමන කොමිසම වැඩිදුරටත් ජනතාවට දැනුම් දී ඇත.

එහෙත් 2025 ජනවාරි 28 වැනි දා ට ප්‍රථම සක්‍රීය වී ඇති SIMපත් භාවිත කරන උපාංග සඳහා මෙම නව නීතිය අදාළ නොවන බව ද එම ආයතනය වැඩිදුරටත් අවධාරණය කර ඇත.

දුරකතන හෝ සිම්පත් භාවිත කෙරෙන උපාංග ආනයනය කරන හෝ විදෙස් රටවලින් රැගෙන එන පුද්ගලයන් මින් ඉදිරියට රේගු නිෂ්කාශන පද්ධතිය සමඟ ලියාපදිංචි විය යුතු බව එම කොමිසම පෙන්වා දෙයි.

තම SIM පත සහිත උපාංගයේ IMEI අංකය පරීක්ෂා කිරීමට පහත පරිදි හැකියාව ඇත.

IMEI අංකය සත්‍යාපනය කිරීමට,
IMEI<හිස්තැනක්><ඉලක්කම්15කින් යුත් IMEI අංකය යොදා> 1909 ට SMS කරන්න.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles