රුමේනියා ඇතුළු රට රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටි ගණනක් මුදල් වංචා කළ බවට සැක පිට විදේශ රැකියා නියුක්ති කාර්යාංශ විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි කුරුණෑගල කිරුණි විදේශ රැකියා ආයතනයේ හිමිකරු ඇප මත නිදහස් කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අද (27) නියෝග කර ඇත.
මෙලෙස ඇප මත නිදහස් කර ඇත්තේ බමුණුගම වෙළගෙදර චමින්ද කුමාර නම් මාවනැල්ල කැප්පෙටිපොළ, නඳුන්උයන, එෆ් 76 ලිපිනයේ පදිංචිකරුවෙකි.
සැකකරු ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කළ අධිකරණය ඔහුගේ විදෙස් ගමන්ද තහනම් කිරීමට නියෝග කළේය. ඇපකරුවන් ලක්ෂ 10ට වඩා වත්කම් ඇති බවට දිවුරුම් ප්‍රකාශ මගින් අධිකරණයට ප්‍රකාශ ලබා දිය යුතු බවටද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
සාකකරු කිරුණි ඊගල් විදේශ රැකියා ආයතනය නමින් සිය ආයතනය පවත්වාගෙන ගොස් ඇත්තේ කුරුණෑගල කොළඹ පාරේ නොවෙල් සෙනෙවිරත්න ගොඩනැගිල්ලක වන අතර, මේ වනවිට ඒහි ලියාපදිංචිය අත්හිටුවා ඇති බව ද වාර්තා වෙයි.
රට රැකියා ලබා දෙන බව පවසා රට පුරා විවිධ ප්‍රදේශවල පුද්ගලයන්ගෙන් ලක්ෂ ගණනින් මුදල් ලබා ගෙන ඇති බවට චෝදනා කරමින් මේ වනවිට සැකකරුට එරෙහිව 100කට අධික නඩු ප්‍රමාණයක් ගොනු කර ඇති අතර, අද දින ඉන් නඩු 51ක් කැඳවූ බවත්, ඉකුත් 24 වැනි දා ද තවත් නඩු 48ක් කැඳවූ බවත්, වාර්තා වෙයි. ඊට අමතරව ඉකුත් දෙසැම්බර් 20 වැනි දා ද ඔහුට එරෙහිව තවත් නඩු ගණනාවක් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවා තිබුණි.
(නායක බණ්ඩාර)