මගී ප්‍රවාහන බස් රථ ඇතුළු අනෙකුත් වාහන පරීක්ෂා කිරීමේ විශේෂ රථවාහන මෙහෙයුමක් අද (23) සිට දිවයින පුරා ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.
පසුගිය දිනවල මගී ප්‍රවාහන බස් රථ ඇතුළු අනෙකුත් වාහනවලින් රට පුරා වාර්තා වුණු රිය අනතුරු සැලකිල්ලට ගනිමින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත අද සිට උත්සව සමය අවසන් වන තුරු දිවයින පුරා මෙම රථවාහන මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට නියමිත ය.
මෙහිදී ප්‍රධාන වශයෙන් පොදු මගී ප්‍රවාහන බස් රථ පරීක්ෂා කිරීම සිදුකෙරෙන අතර, එම බස් රථවල රියදුරන්, මත්පැන් පානය කර හෝ වෙනත් මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය සිදු කරන්නේද යන්න විශේෂයෙන් සොයා බැලීම කරන බව පොලිසිය පවසයි.
එමෙන්ම බස් රථ අපරීක්ෂාකාරි හා අන්තරාදායක ලෙස ධාවනය, අධික වේගයෙන් රිය ධාවනය, මාර්ග නීති උල්ලංඝනය කරමින් ධාවනය, ධාවනයට නුසුදුසු තත්ත්වයේ ටයර් හෝ වෙනත් දෝෂ සහිතව ධාවනය කිරීම සම්බන්ධයෙන් ද පරීක්ෂා කිරීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් නිවේදනය කරයි.
(ජනක බලල්ල)