දැනට රට තුළ ක්‍රියාත්මක උපයන විට අයකෙරෙන බදුවල සිදුවන සංශෝධන පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක ඉකුත් 18 වැනි දා පාර්ලිමේන්තුවේ දී දැනුම් දුන්නේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහන යටතේ හිමිවූ තුන්වැනි වාරිකය පිළිබඳ සමාලෝචනයේ ප්‍රතිඵල පිළිබඳ පාර්ලිමේන්තුවට දැනුම් දෙමින් ජනාධිපතිවරයා මේ බව පැවැසීය.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවය මත උපයන විට බදු අයකෙරෙන අවම සීමාව මසකට රුපියල් 100,000 සිට රුපියල් 150,000 දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කර ඇත.
රුපියල් 150,000කට වඩා අඩුවෙන් මාසික වැටුපක් ලබන පුද්ගලයකු බද්දෙන් නිදහස් වෙයි.
රුපියල් 150,000ක වැටුපක් ලබන පුද්ගලයෙකු මීට පෙර උපයන විට බදු ලෙස රුපියල් 3,500 ගෙවා තිබූ අතර නව සංශෝධනය අනුව උපයන විට බදු ගෙවිය යුතු වන්නේ නැත.
රුපියල් 200,000ක වැටුපක් හිමි පුද්ගලයෙකු මීට පෙර උපයන විට බදු ලෙස රුපියල් 10,500ක් ගෙවා තිබූ අතර නව සංශෝධනය අනුව ගෙවිය යුතු වන්නේ රුපියල් 3,000ක මුදලකි.
රුපියල් 300,000ක වැටුපක් හිමි පුද්ගලයෙක් රුපියල් 35,000ක් උපයන විට බදු ලෙස ගෙවා තිබූ අතර නව සංශෝධනය අනුව ගෙවිය යුතු මුදල රුපියල් 18,500 දක්වා අඩුවෙයි.
එමෙන්ම රුපියල් 500,000ක වැටුපක් හිමි පුද්ගලයෙක් උපයන විට බදු ලෙස රුපියල් 106,500ක් ගෙවා තිබූ අතර නව සංශෝධනය මගින් ගෙවීමට නියමිතව ඇත්තේ රුපියල් 86,000ක් පමණි.
(නායක බණ්ඩාර)