20 C
Sri Lanka
Friday, January 24, 2025

මෛත්‍රී ජනාධිපති සමාව දුන් රෝයල් පාර්ක් ඝාතකයාට යළි වරෙන්තු

රාජගිරිය රෝයල් පාර්ක් ඝාතන සිද්ධියට මරණීය දඬුවම නියම කිරීමෙන් පසුව, ජනාධිපති සමාව ලැබූ  ජූඩ් ශමන්ත ජයමහ මේ වනවිට රැඳී සිටින ස්ථානය අනාවරණය කර ගැනීම සඳහා අවශ්‍ය විමර්ශන ආරම්භකර ඇතැයි නීතිපතිවරයා අද (19) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

ඔහු මේ වනවිට රටින් පලාගොස් සිටින බව ද වාර්තා වෙයි.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් සමාව ප්‍රදානය කරන ලද ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, ඒ අනුව අදාළ සමාව බලරහිත කරන බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබුණි.

ඒ කාන්තා මාධ්‍ය එකමුතුව විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් පසුව ය.

විත්තිකරු මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ගවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට නියම කරනු ලැබ තිබේ.

ඒ අනුව මෙම පෙත්සම අද(19) ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අතර, එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම්දී තිබෙන්නේ මෙම විත්තිකරු රැඳී සිටින ස්ථානය අනාවරණය කර ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා විමර්ශන ආරම්භ කර ඇති බව ය.

ඊට අමතරව එම විත්තිකරුගේ බැංකු ගිණුම්වල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරන බව රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දී තිබේ.

පෙත්සම මාර්තු මස 12 වැනි දා යළි කැඳවීමට නියෝග කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ල,  එදින මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙස රජයේ නීතිඥවරයාට නියම කළේය.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles