20.7 C
Sri Lanka
Friday, January 24, 2025

2025 වසරේ මුල සිට අඩු මිලට අලුත් සීල් අරක්කු බෝතලයක්

රටේ පවතින නීති විරෝධී මත්පැන් අලෙවිය අඩපණ කිරීම සඳහා ලබන වසරේ මුල් කාර්තුව තුළ අඩු මිලකට මත්පැන් බෝතලයක් හඳුන්වාදීමට සුරාබදු දෙපාර්තමේන්තුව අදහස් කරන බව සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පවසයි.

ඊයේ (18දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ සුරාබදු ආදායම වැඩිකර ගැනීම හෝ මත්පැන් ප්‍රවර්ධනය සඳහා ගත් තීරණයක් නොව, නීති විරෝධී මත්පැන් පාලනය කිරීම සඳහා පමණක් ගත් තීරණයක් බව ය.

මත්පැන් පානය කර රෝගීන් වන පිරිසගේ ප්‍රතිකාරවලට සුරාබදු ආදායමට වඩා වැඩි වියදමක් දැරීමට රජයට සිදුවන බවත්, කිසිදු ප්‍රමිතියක් නොමැති මත්පැන් පානය කිරීම මීට ප්‍රධානම හේතුව බවත්, ඔහු පැවැසීය.

අඩු ආදායම් ලාභීන් සඳහා සහන මිලක් යටතේ මත්පැන් බෝතලයක් මිල දී ගැනීමට අවස්ථාව සලසන ලෙස විවිධ පාර්ශ්ව සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීම් කරන අතර, එය ඉටුකළ හැකිද යන්න සම්බන්ධයෙන් මේ දිනවල අධ්‍යයනය කරමින් සිටින බව ඔහු පෙන්වා දුන්නේය.

අඩු මිලට මත්පැන් බෝතලයක් ලබාදීම සඳහා මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කරන්නවත්, ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබුණහොත් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු අනුමැතිය ගතයුතු සියලු අංශවලින් අනුමැතිය ලබාගෙන ලබන වසරේ මුල් කාර්තුව තුළ මෙම හඳුන්වාදීම සිදුකළ හැකි බවත් ඔහු මෙහි දී පැවැසීය.

මේ සඳහා මත්පැන් නිෂ්පාදකයන් සමග මූලික සාකච්ඡාවක් මේ වනවිට පවත්වා ඇති අතර, ඊට ඔවුන් එකඟතාව පළකර ඇති බව ද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

ජනවාරි සිට නීති විරෝධී මත්පැන් වැටලීම් වැඩි කිරීමට කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles