හිටපු ජනාධිපතිවරුන් වෙත ලබා දී ඇති සියලුම ත්‍රිවිධ හමුදා ආරක්ෂකයන් ලබන සතියේ සිට ඉවත් කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
අද (17) පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධව අදහස් දක්වමින් ඔහු පැවසුවේ, මාස 6කට වරක් කරනු ලබන ආරක්ෂක ඇගැයීමකින් පසු අදාළ ආරක්ෂා පිළිබද තීරණය කරනු ඇති බව ය.
කෙසේ වෙතත් පොලීසිය විසින් සපයනු ලබන ආරක්ෂාවට අමතරව හිටපු ජනපතිවරුන්ට ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂාව ද ලබා දී ඇත.
මෙහිදී අමාත්‍යවරයා හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් යොදවා ඇති ආරක්ෂක නිලධාරීන් ප්‍රමාණය ද හෙළි කළේය.
එහි දී ඔහු පැවසුවේ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය වසරකට රුපියල් මිලියන 1,448ක් වැයකරන බව ය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක ඇමැතිවරයා…
“අදත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පොලීසියේ 60ක් සහ ත්‍රිවිධ හමුදාවේ 228 දෙනෙක් ආරක්ෂාවට සහ අනෙකුත් කටයුතුවලට යොදවලා තියෙනවා.
“මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට හමුදා නිලධාරීන් 4ක් සහ පොලිස් නිලධාරීන් 60ක් ආරක්ෂකයන් වශයෙන් යොදවලා තියෙනවා.
“ගෝඨාභය හිටපු ජනාධිපතිවරයාට අදත් ත්‍රිවිධ හමුදාවේ 188ක් සහ පොලීසියේ 22ක් ආරක්ෂාව සඳහා සපයා දී තිබෙනවා.
“රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට හමුදා නිලධාරීන් 57ක් සහ පොලීසියේ 60ක් යොදවලා තියෙනවා.”
“චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිවරයාට පොලිස් නිලධාරීන් 60ක්.”
“හේමා ප්‍රේමදාස මැතිනියට පොලිස් නිලධාරීන් 10ක් ද වර්තමානයේ ආරක්ෂාව සඳහා ලබා දී තිබෙනවා.”
“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට ආරක්ෂාව සපයලා තියෙනවා ආයතන 3කින්. එකක් ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ ජනාධිපති කාර්යාලය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පසුගිය මාස එකොළහමාර තුළ විතරක් ත්‍රිවිධ හමුදාවෙන් මිලියන 328ක්, පොලීසියෙන් මිලියන 327ක් වැය බරක් දරලා තියෙනවා. ජනාධිපති කාර්යාලයෙන් මිලියන 55ක් දරලා තියෙනවා. ඒ අනුව රුපියල් මිලියන 710ක් මාස 11ක් වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් රජයේ මුදල් වැය කරලා තියෙනවා.”
“මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවෙන් මිලියන 6ක්, පොලීසියෙන් මිලියන 185ක් ජනාධිපති කාර්යාලයෙන් මිලියන 16ක් වශයෙන් මිලියන 207ක වැය බරක් දරලා තියෙනවා.”
“ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව මිලියන 258ක් පොලීසිය මිලියන 39ක් ජනාධිපති කාර්යාලයෙන් මිලියන 10ක් වශයෙන් සම්පූර්ණව රුපියල් මිලියන 307ක් වැය බරක් දරලා තියෙනවා.”
“හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව මිලියන 19ක්, පොලීසිය මිලියන 60ක් ජනාධිපති කාර්යාලයෙන් මිලියන 3ක් වශයෙන් මේ මාස තුනට රුපියල් මිලියන 82ක් දරලා තියෙනවා.”
“හිටපු ජනාධිපති චන්ද්‍රිකා මහත්මිය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව වැය බර දරලා නෑ. පොලීසිය මිලියන 99යි, ජනාධිපති කාර්යාලය මිලියන 12යි සම්පූර්ණ වියදම රුපියල් මිලියන 112යි.”
“හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ආර්යාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව වැය බර දරලා නෑ. පොලීසිය මිලියන 30යි, ජනාධිපති කාර්යාලය මිලියන 03යි, සම්පූර්ණ මුදල මිලියන 32යි.”
“ඒ අනුව ගරු කථානායකතුමනි සම්පූර්ණ මුදල රුපියල් මිලියන 1,448ක් මේ මාස එකොළහ හමාර ඇතුළත වැය බරක්, ජනතාවගේ මුදල් මේ විශ්‍රාමික ජනාධිපතිවරුන් වෙනුවෙන් රජය වැය කරලා තියෙනවා. මේක ඉතාම අසීරු තත්ත්වයක්.”
(ජනක බලල්ල)