18.6 C
Sri Lanka
Friday, January 24, 2025

පහේ ශිෂ්‍යත්ව මූලික අයිතිවාසිකම් නඩුව විභාගයට ගනී

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ කලින් ප්‍රශ්න තුනක් පිට වූ බව කියන පළමු ප්‍රශ්න පත්‍රය සඳහා යළි විභාගයක් පවත්වන ලෙස නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා එම විභාගයට ඉදිරිපත් වූ සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමව්පියන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් අද (16) ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාගයට ඇත.

ඒ අනුව පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පළමුවන ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ බව කියන ප්‍රශ්න තුනට නිදහස් ලකුණු ලබාදීමට තීරණය කිරීම සඳහා පදනම් වී ඇති විද්වත් කමිටු වාර්තාව සකස් කර ඇත්තේ ඊට සම්බන්ධ සමස්ත ක්‍රියාවලිය කෙරෙහි අවධානය යොමු කිරීමකින් තොරව බවය.

ශිෂ්‍යත්ව විභාගය අතිශය තීරණාත්මක විභාගයක් බවත්, එම විභාගයේ දී ලබාදෙන සෑම ලකුණක්ම ඉතා වැදගත් බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ග්‍රාමීය ප්‍රදේශවල සිටින සිසුන්ට ජනප්‍රිය පාසල්වලට ඇතුළත් වීමට ඇති එකම මාර්ගය මෙය පමණක් බව පවසා ඇත.

මෙහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි සොලිස්ටර් ජෙනරාල් විරාජ් දයාරත්න පෙන්වා දී ඇත්තේ අධිකරණය මගින් කළ දැනුම්දීමකට අනුව අදාළ විද්වත් කමිටුවේ නිර්දේශ ලබා ගැනීමට කටයුතු කළ බව ය.  එම නිර්දේශයන්ට අනුව පිටවූ බව කියන ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබාදීමට තීරණය කළ බව ඔහු පෙන්වා දී තිබේ.

අනතුරුව වැඩිදුර පෙත්සම් විභාගය හෙට දින තෙක් කල් තැබීමට අධිකරණය නියෝග කර ඇත.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles