20 C
Sri Lanka
Friday, January 24, 2025

ජාතික ගුවන්විදුලියට 99යි

ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවට වසර 99 ක් සපිරීම නිමිත්තෙන් සැමරුම් උත්සවයක් අද (16) ජාතික ගුවන්විදුලි සංස්ථාවේ කුමාරතුංග මැදිරියේ දී පැවැත්විණි.

“සියවස අභියස – ජාතික ගුවන්විදුලි සංස්ථාව” (1925-2024) යන්න තේමා කර ගනිමින් පැවැත්වූ මෙම උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබුණි.

එහි දී අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ගුණාත්මකභාවය ආරක්ෂා කරගනිමින් ඉදිරි සියවස නවීකරණයක් එක්කළ ගුවන්විදුලියක් ලෙස පවත්වාගෙන යෑම රජයේ අරමුණ බව ය.  

ජාතික කාරයභාරයකින් යුක්ත ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සතුව දැනට පවතින මානව හා භෞතික සම්පත් ප්‍රයෝජනය ගෙන වඩා හොද සැළසුමක් සහිතව ඉදිරියට යා යුතු බව මෙහි දී අමාත්‍යවරයා පෙන්වා දුන් අතර, ඉදිරි වසර 05 තුල දී මෙම නව තත්ත්වය අත්පත් කර ගත යුතු බව ද අවධාරණය කළේය.

ප්‍රාදේශීය සේවාවන් 03 ක් හරහා නව පරම්පරාවට සන්නිවේදන කාර්යභාරය අත්පත් කරදීම වෙනුවෙන් වන වැඩපිළිවෙල වේගවත් සහ පුළුල් කළ යුතු බවත්, රජයක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයත් සමග එක්ව ඒ සදහා ශක්තිමත් වැඩපිළිවෙලක් ගොඩනගන බවත් අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

මෙරට ශිෂ්‍යයකුට, තරුණයකුට, ගුවන්විදුලි ක්ෂේත්‍රයට පිවිසීමට යම් අධිෂ්ඨානයක් තිබෙනවා නම් ඔවුන්ගේ තිඹිරිගෙය බවට ජාතික ගුවන් විදුලිය පත්විය යුතු බව ද අමාත්‍යවරයා මෙහි දී පැවැසීය.

දේශීය විදේශිය සංචාරකයන් ආකර්ශණය කර ගන්නා, ඔවුන්ට දැනුමක්, අධ්‍යාපනයක් ලබාදෙන තැනක් බවට ද ජාතික ගුවන්විදුලිය පත්විය යුතු බව ද අමාත්‍යවරයා පැවසීය.

සියවසක් අභියස සිටින ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවය වෙනුවෙන් ගුවන් විදුලි සියවස් සැමරුම් මුද්දරයක් ද මෙහිදී  නිකුත් කෙරිනි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති මහාචාර්ය උදිත ගයාශාන් ගුණසේකර, අධ්‍යක්ෂ ජනරාල් බී.එන් දමින්ද කුමාර, තැපැල්පති රුවන් සත්කුමාර, රජයේ මාධ්‍ය ආයතන ප්‍රධානීන්, සභාපතිවරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles