මෙරට වෙළඳ පොළේ තිබෙන සහල් හිඟය පාලනය කිරීම සඳහා රජය ලබාදුන් අවසරය මත පෞද්ගලික ආනයනකරුවන් විසින් ආනයනය කරන ලද සහල් බහාලුම් 3ක ඇති සහල් තොග පරිභෝජනයට නුසුදුසු සහල් බවට නිර්දේශ කර ඇත.
මේ වනවිට ඉන්දියාවෙන් සහල් ආනයනය කෙරෙමින් පවතින අතර පසුගිය 4 වනදා සිට ඊයේ (13) දහවල් දක්වා පෞද්ගලික ආනයනකරුවන් ආනයනය කළ සහල් මෙට්‍රික්ටොන් 2,300ක් රේගුව වෙත ලැබී තිබුණි.
ඒ අතරින් 90%ක් පමණ ඊයේ වනවිටම රේගුවෙන් නිදහස් කර තිබුණි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකය විසින් අදාළ සහල් තොගවල ප‍්‍රමිතිය පරීක්ෂා කරනු ලැබූ අවස්ථාවේ දී අනාවරණයවී වී ඇත්තේ ආනයනය කළ බහාලුම් 03ක තිබු සහල් කිලෝග්‍රෑම් 75,000ක් පරිභෝජනයට නුසුදුසු බව ය.
ඒ අතරින් බහාලුම් දෙකක තිබු සහල්වල ගුල්ලන් සිට ඇති අතර අනෙක් බහාලුමේ තිබු සහල් උරවල නිෂ්පාදිත දිනය ඇතුළත් පැරණි ලේබලය මතම නව ලේබලයක් අලවා තිබිම හේතුවෙන් එම බහාලුම් සෞඛ්‍ය අංශ මගින් රේගුවෙන් නිදහස් කිරීමට අවසර ලබා දී නොමැත.
කෙසේ වෙතත් මෙම පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝග්‍රෑම් 75,000 සහල් තොගය ප්‍රතිඅපනයනය කරන ලෙස ශ්‍රී ලංකා රේගුව ආනයනකරුවන්ට දැනුම්දී ඇති බව ද වාර්තා වේ.
(ජනක බලල්ල)