20.7 C
Sri Lanka
Friday, January 24, 2025

දියුණු ශ්‍රී ලංකාවක් ඇති කිරීමට ජනපතිට එමීර් රාජ්‍යයේ සහාය

දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළට සහාය දැක්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය – UAE එකඟතාව පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා සමග අද (12) පැවැති ද්වී පාර්ශ්වික සාකච්ඡාවක දී ඔහු මේ බව පවසා ඇත.

ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ඛලීඩ් නසර් අල් අමේරි ( Khaled Nasser AlAmeri) පවසා ඇත්තේ ශ්‍රී ලංකාව තුළ සිදු කරන ආයෝජන ප්‍රමාණය ඉහළ නැංවීමට හා ඩිජිටල්කරණය හා නවීන තාක්ෂණය හඳුන්වා දීමට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දීමට ද ඔවුන් සහාය දක්වන බව ය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දැනට ශ්‍රී ලාංකිකයන් එක්ලක්ෂ පනස්දහසක් (150,000) පමණ රැකියාවන්හි නිරත වන අතර එම ප්‍රමාණය වැඩි කිරීමට ඇති අවස්ථාවන් පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කර ඇති අතර, ශ්‍රී ලංකාවේ හයවන විශාලතම අපනයන වෙළෙඳපොළ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වන බැවින් එම අපනයන අවස්ථාවන් පුළුල් කර ගැනීම පිළිබඳවද මෙහි දී සාකච්ඡා කර තිබේ.

දෙරට අතර පවතින දිගු කාලීන මිත්‍රත්ත්යය තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඕනෑම සහායක් ලබාදීමට කටයුතු කරන බවද තනාපතිවරයා ජනාධිපතිවරයාට පොරොන්දු වී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඉදිරියේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයකට එක්වන ලෙස ද ඛලීඩ් නසර් අල් අමේරි ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ආරාධනයක් සිදු කර තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලයේ පූර්ණ බලැති මිනිස්ටර් ධුරය හොබවන අහමඩ් එම්.ඒ.ඒ අල් ෂෙහි ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිට ඇත.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles