පියා විසින් තම දියණිය ඝාතනය කර වැසිකිළි වළක සඟවන ලද පුවතක් ගම්පහ මාකේවිට ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
අවුරුදු 14ක දැරියක් ඝාතනය කර සිරුර ඉදිකරමින් තිබෙන වැසිකිළි වලකට දැමීමේ සිද්ධියට අදාළව කරුණු රැසක් පොලීසිය විසින් මේ වනවිට අනාවරණය කරගෙන තිබේ.
තම වයස අවුරුදු 14ක් වූ දියණිය අතුරුදහන්ව ඇති බවට මව විසින් ගම්පහ පොලිසියට දෙසැම්බර් මස 5 වැනි දා පැමිණිල්ලක් ගොනු කර තිබිණි.
එහි දී මව ඊට තම සැමියා සැක බව ද පොලිසියට පවසා තිබුණි.
ඒ ඔස්සේ විමර්ශන ආරම්භ කළ පොලීසියට ඝාතනයේ සුලමුල අනාවරණය කරගැනීමට හැකිව පොලිසිය සමත්ව ඇත.
පැමිණිලිකාර මව තම දෙවන විවාහයේ ස්වාමිපුරුෂයා සහ දියණිය සමග මාකෙවිට ප්‍රදේශයේ ඉදිකරමින් පවතින තෙමහල් නිවසක තාවකාලිකව පදිංචිව සිට ඇත. ඔහු පෙදරේරුවෙකු වශයෙන්ද, පැමිණිලිකාරිය ඒකල ප්‍රදේශයේ පුද්ගලික අංශයේ ද රැකියා කරන අය බව වාර්තා වෙයි.
2024.12.02 වන දින තම සැමියා සහ දියණිය නිවසේ සිටිය දී ඇය උදෑසන රැකියාවකට ගොස් රාත්‍රීයේ නැවත නිවසට පැමිණ දියණිය නිවසේ නොසිටිම පිළිබඳ තම සැමියාගෙන් විමසීම් සිදු කර තිබේ.
එහිදී ඔහු විසින් තම දියණිය යහලුවෙකුගේ පවුලේ සාමාජිකයන් සමග විනෝද චාරිකාවක් ගොස් ඇති බවටත් එදින නොපැමිණෙන බව හා පසුදින පැමිණෙන බවට බිරිඳව දැනුවත් කර ඇත.
දියණිය 2024.12.05 වැනි දා දක්වාම නිවසට නොපැමිණිම හේතුවෙන් දෙදෙනා අතර ආරවුලක් ද ඇති වී ඇති අතර, කාන්තාව මේ පිළිබඳ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
එහිදී තම සැමියා, දැරියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සැක බව මෙහි දී කාන්තාව ප්‍රකාශ කර ඇත.
සිද්ධිය සම්බන්ධව විමර්ශනය සිදුකළ පොලිස් නිලධාරීන් විසින් වයස අවුරුදු 42ක් වන පැමිණිලිකාරියගේ පුරුෂයා අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීම්වල දී සිද්ධිය පිළිබඳ ඔහු කරුණු රැසක් හෙළිකර ඇත.
2024.12.02 වන දින බිරිඳ විසින් ඇයට අයත් තම සැමියා විසින් උකසට තබන ලද රන් මාලයක් නිදහස් කර ගැනීම සඳහා තම දියණියට මුදල් ලබා දී තම පියා සමග ගොස් එම රන් මාලය නිදහස් කර ගන්නා ලෙසට ප්‍රකාශ කර බිරිඳ රැකියා ස්ථානයට ගොස් ඇත.
මොහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු බැවින් දියණියට රන් භාණ්ඩ ලබාගැනීම සඳහා ලබා දී තිබූ මුදල් දියණියගෙන් ඉල්ලා ඇති අතර දියණිය විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් දියණියට පහර දී මුදල් පැහැරගෙන නිවසින් පිටව ගොස් ඇත.
පසුව නිවසට පැමිණි ඔහු දියණිය පහරකෑ ස්ථානයේම වැටී සිටි නිසා ඇය පරික්ෂා කිරීමේ දී මියගොස් සිටි බැවින් දැරියගේ මෘත ශරීරය ඉටි කවරයක බහා ඉදිකරමින් පවතින නිවසේ වැසිකිලි වලකට දමා වසා දැමීමට ඔහු කටයුතු කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු 2024.12.06 වන දින ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2024.12.16 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
(ගම්පහ විශේෂ)