සුරාබදු ගෙවීම් තවදුරටත් පැහැර හරින සමාගම්වල නිෂ්පාදන කටයුතු අත්හිටුවීමටත් නිෂ්පාදන බලපත්‍ර 2025 වර්ෂය සඳහා දීර්ඝ නොකිරීමටත් පියවර ගන්නා බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙම 2024 වර්ෂය සඳහා මත්පැන් නිෂ්පාදන සමාගම් 23කට නිෂ්පාදන බලපත්‍ර නිකුත් කර ඇති අතර, ඒවා අතරින් වැලිසර ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම, කුරුණෑගල රෝයල් සිලෝන් ඩිස්ටලරීස් පුද්ගලික සමාගම සහ මීගොඩ මැකලම් බෘවරි සමාගම යන සමාගම් බදු මුදල් නොගෙවා ඇති බැවින් එම සමාගම්වලට එරෙහිව සුරාබදු නීතියට අනුව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
සුරාබදු නොගෙවූ සමාගම්වලට හිඟ බදු ගෙවීම සඳහා නොවැම්බර් මස 30 වැනි දා දක්වා කාලය ලබා දී තිබු අතර සමාගම් තුනක් හැර අනෙක් සියලු සමාගම් මත්පැන් බලපත්‍රවලට අදාළ හිඟ සුරාබදු ගෙවා ඇති තිබුණි.
සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ දැනට ක්‍රියාත්මක නොවන ලුණුවිල ග්ලෝ බ්ලෙන්ඩර්ස්, වයඹ ස්ප්‍රීතු සමාගම සහ පයාගල සමූපකාර මත්පැන් නිෂ්පාදනාගාරවලට අදාළ සමාගම් සම්බන්ධ අයිතිය තහවුරු කර ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති අතර, එම කටයුතු අවසන්වීමෙන් පසු එම සමාගම්වලට අදාළ හිග බදු අයකර ගැනීම සඳහා පියවර ගන්නා බව ය.
ඊට අමතරව උතුරු පළාතේ වංකානේ පිහිටි වලිකාමම් මත්පැන් නිෂ්පාදනාගාරයට අදාළ හිග සුරාබදු ගෙවන තෙක් මත්පැන් නිෂ්පාදන කටයුතු අත්හිටුවීමට ද සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
(නායක බණ්ඩාර)