ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (02) පෙරවරුවේ දිවුරුම් දුන්නාය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය විශ්‍රාම යෑමෙන් පසු පුරප්පාඩු වූ ශ්‍රී ලංකාවේ අගවිනිසුරු ධුරය සඳහා ව්‍යවස්ථා සභාව විසින් පසුගියදා ඇයගේ නම අනුමත කරන ලදී.
ශ්‍රී ලංකාවේ 48 වන අගවිනිසුරු ලෙස ඉතිහාසයට එක්වන මුර්දු ප්‍රනාන්දු, මෙරට ශිරානී බණ්ඩාරනායකගෙන් පසු අගවිනිසුරු ධුරයට පත්වූ දෙවන කාන්තාව ලෙස ද ඉතිහාසයට එක්වෙයි
රජයේ නීතිඥවරියක ලෙස 1985 වසරේ දී නීතිපති දෙපාර්තමේන්තුවට බැඳුණු මුර්දු ප්‍රනාන්දු, වසර 30කට වැඩි කාලයක් එහි සේවය කර තිබන අතර එහි දී ඇය 1997 වසරේ දී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ධුරයටත්, 2014 වසරේ දී අතිරේක සොලිසිටර් ජනරාල් ධුරයටත් උසස්වීම් ලබා ඇත.
මුර්දු ප්‍රනාන්දු මහත්මිය නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ලෙස සේවය කළ අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරියද වේ.
මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන මුර්දු ප්‍රනාන්දු විනිසුරුවරිය කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයෙන් නීතිවේදී උපාධිය හදාරා ඇත.
(ජනක බලල්ල)