ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර සදබි වෙන්දේසි නිවහනේ පසුගිය 20 වැනි දා පැවැති වෙන්දේසියක දී කෙසෙල් ගෙඩියක් ඇමෙරිකානු ඩොලර් මිලියන 6.2ක අළෙළෙ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසෙල්ගෙඩියක් ලොව වැඩිම මුදලකට අළෙවි වූ අවස්ථාව ලෙසද මෙය වාර්තා පොත් අතරට ඒක් වෙයි.
වෙන්දේසියට මෙම කෙසෙල් ගෙඩිය රිදී පැහැති ඩක් ටේප් රඳවනයකින් බිත්තියට අලවා ඉදිරිපත් කර තිබී ඇති අතර, එම කෙසෙල් ගෙඩිය උපහාසාත්මක කලා නිර්මාණ කිරීම සඳහා ප්‍රසිද්ධියක් උසුලන මොරිෂියෝ කැට්ලන්ගේ “කමීඩියන්” නැමැති කලා නිර්මාණය බවට වෙන්දේසිකරුවන් ලංසුකරුවන්ට හඳුන්වා දී ඇත.
එහිදී චීන ක්‍රිප්ටො කරන්සි ව්‍යවසායකයකු වන ජස්ටින් සන් විසින් මෙම නිර්මාණය අනෙකුත් ලංසු තබන්නන් පරදවමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 6.2කට මිලදී ගනු ලැබ තිබේ.
වෙන්දේසියේ දී මෙම නිර්මාණය මිලදී ගැනීමෙන් පසුව ජස්ටින් සන් ප්‍රකාශ කර ඇත්තේ මෙම අද්විතීය කලා නිර්මාණයේ අත්දැකීම විඳ ගැනීම සඳහා කෙසෙල් ගෙඩිය නරක් වීමට ප්‍රථම ආහාරයට ගන්නා බව ය.
“කමීඩියන්” 2019 වසරේ දී ප්‍රථම වරට කලා නිර්මාණයක් එළි දක්වා ඇති අතර, එම අවස්ථාවේ දී එය ඇමෙරිකානු ඩොලර් එක්ලක්ෂ විසිදහසකට ($ 120,000) මුදලකට අළෙවි වී ඇත. ඉන් පසුව කෙසෙල් ගෙඩි නරක් වනවිට උපදෙස් පරිදි අලුත් කෙසෙල් ගෙඩි ආදේශ කරමින් මේ වනතෙක් කලා නිර්මාණය පවත්වා ගෙනවිත් ඇත.
මෙම නිර්මාණයට ඇමෙරිකානු ඩොලර්, මිලියන 1ත් 1.5ත් අතර මුදලක් ලැබෙනු ඇතැයි වෙන්දේසිකරුවන් අනුමාන කර තිබිණි. මෙම නිර්මාණය කලාව සහ ඩිජිටල් ලෝකය අතර පාලමක් ලෙසද සැලකෙන බව පැවැසේ.
මෙම මිලදී ගැනීම සම්බන්ධයෙන් ප්‍රශංසා මෙන්ම විවේචනද එල්ල වී තිබෙන අතර අද ලෝකයේ සල්ලිවලට කරන්න දෙයක් නැති මිනිසුන්ද සිටින බවට මෙය කදිම උදාහරණයක් බවට ඇතැම් විශ්ලේෂකයෝ හඳුන්වා දෙති.
-විදෙස් පුවත්-