22.4 C
Sri Lanka
Thursday, December 12, 2024

ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය තුළ වාමාංශික උපක්‍රම අත්හදා බලන්නේ කෙසේද?

ජනතා විමුක්ති පෙරමුණ තරම් සතුරු ප්‍රහාරයන්ට ලක්වූ වෙනත් දේශපාලන පක්ෂයක් ලංකා ඉතිහාසය තුළ හමුවන්නේ නැත. 1965 වසරේ පක්ෂය ආරම්භයේ සිටම ඒ මත අටවනු ලැබූ මතවාදී මර උගුල්වල නිමක් නොවිනි. හැත්තෑ එකේ මර්දනයෙන් පසු 1983 සිදුකළ පක්ෂ තහනමෙන් පසු 88 / 89 මර්ධනය අවසන් කෙරුනේ නායක මණ්ඩලවල සියළු දෙනා ඇතුළුව පක්ෂයේ හැට දහසකට අධික සාමාජික පිරිසක් මරා දමමිනි. ඉන් නොනැවතුනු ධනපති පාලක කල්ලිය  94 න් පසුව ජවිපේ සමාජිකයන් 10කට ආසන්න පිරිසක් මරා දමා තිබේ. 

මෙරට පැවැති සභාග වම නොසලාකා හරිමින්, වාමාංශික ව්‍යාපාරයේ ඉතිහාසය මුළු එකක් වශයෙන් ගත්කළ ලංකාවේ වමේ ඉතිහාසය යනු ජවිපේ ඉතිහාසයයි. ජවිපේ ඉතිහාසය යනු මෙරට ධනපති පන්තිය විසින් නිර්ධන පන්තිය  මර්ධනයට ලක්කිරිමේ ඉතිහාසයයි. ඒ අනුව පසුගිය ජනාධිපතිවරණය ජය ගනිමින් අනුර කුමාර දිසානායක මෙරට නවවැනි ජනාධිපතිවරයා වීමත් පසුගියදා පැවැති මහමැතිවරණයෙන් ජාතික ජනබලවේගය ලැබූ විශිෂ්ට ජයග්‍රණයත් ජ.වි.පෙ ඉතිහාසය තුළ වූ බිදවැටිම්, කැපකිරිම් සහ අත්දැකීම් මත ලැබූ ජයග්‍රහණයක් බවට අමතර පැහැදිලි කිරිම් අවශ්‍ය නැත. 

මෙම ජයග්‍රහණය කරා එන ගමන්මග තුළ ප්‍රගතිශීලී ව්‍යාපාරය පසුපස ලුහුබදිමින් ඊට බාධාකල අවස්ථාවාදි ප්‍රවනතා රැසක් හමුවෙයි,  ආසන්න ඉතිහාසය තුළ එවැනි සිදුවිම දෙස ආපසු හැරි බැලිමේ දී මර්දනය ක්‍රියාමාර්ග වලට ඉදිරියේ දී  මුහුණදීමට  සකස්කර ගත් උපක්‍රම සහ භාවිතයන් අවස්තාවාදි උපනතින් බවට පත්වූවාද…?  නැතහොත් දිගු කාලිනව ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය තුළ කටයුතු කරමින් උපක්‍රමික තීරණ වාමාංශීක උපාය මාර්ගයට පිරිද්දීමේදි එහි දේශපාලන සමපාත භාවය බිද වැටුනේද…? යන්න විවාදිතය. 

එහෙත් එම තත්වය හුදු පුද්ගල ද්‍රෝහිකම් යන පටු සීමාවේ කොටුකර විග්‍රහ නොකරන්නේ නම් අවස්ථාවාදයේ නව හැඩයක් බවට විවාදයක් නැත. මෙයින් ගම්‍ය වන ප්‍රධාන කාරණය,

පක්ෂයක් වෙත සන්නද්ධ මර්දනයක් අවස්ථානුකූල වෙනස්කම් සහිතව එකම වේෂයෙන් පැමිණියද ධනේශ්වර මතයේ පිටුපස මුහුණත වන අවස්ථාවාදයට අති වාමවාදි වේෂ නීරූපනයන් රැසකින් ප්‍රගතිශිලී ව්‍යාපාරයක් තුළ සැගවි සිටිය හැකි බවය.  කෙසේ වෙතත් ජවිපේ නායකත්වය ලබාදුන් ජාතික ජනබලවේගය

විසින් ධනපති කල්ලි, ජාතිවාදි හොල්මන් සහ ආගම්වාදි පිල්ලි එක පෙළට තබා පරාජයට පත්කර තිබේ.“ අත්නොහරින මිනිසා“ හෙවත් ජවිපේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ තම අරමුණ අත්නොහරිණ  එවැනිම වර්ගයේ මිනිසුන් පිරිසක් එක්ව උපායමාර්ගික ජයග්‍රහණය පන්ති දේශපාලනයට ඉතා අපූරුවට පුරුද්දා රටට ජයග්‍රහණ රැසක් එක්කර දීමට නායකත්වය සපයා තිබේ. ඔවුන් ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය තුළ වාමාංශික උපක්‍රම අත්හදා බලන්නේ කෙසේද යන්න වාමවාදී නව අත්දැකිම්ක් එකතු කර ඇත්තේ, සමාජවාදය දක්වා යන ගමනට නව අරගල මාදිලියක් ලෝකයටම හදුන්වා දෙමිනි. 

පැවැති 2024 මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ඓතිහාසික ජයග්‍රහණයක් සනිටුහන් කර ලැබුවේ මෙරට දේශපාලන ඉතිහාසයේ නව දේශපාලන වාර්තා රැසක් පිහිටුවීමිනි. මෙම විශිෂ්ට ජයග්‍රහණය ඉහත සදහන් ගොඩ නැගීම් සහ කැපකිරීම් වල ප්‍රතිඵලය බව පැහැදිලිය. ඒ අනුව තනි පක්ෂයක් මෙරට ඉතිහාසයේ මහ මැතිවරණයක දි ලබාගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව වන 6,863,186ක් ලබාගැනීමට ජාතික ජන බලවේගය සමත් විය. එමෙන්ම මිට පෙර පැවැති මැතිවරණවලදී සභාග ආණ්ඩු පිහිටුවිම සදහා සියලු පක්ෂ එකට එක්ව තරග කළත් එතරම් ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට සමත්ව නැත. ජාතික ජනබලවේගය, විශේෂයෙන් උතුරු නැගෙනහිර සහ වතුකර ජනතාවගේ ආකර්ශනිය විශ්වාසයක් දිනාගැනීමට සමත්වීමම විශිෂ්ට ජයග්‍රහණයකි. මහ මැතිවරණයකදි ඉතිහාසයේ පක්ෂයක් ලබාගත් වැඩිම ඡන්ද ප්‍රතිශතයද හිමිවන්නේ මෙවර ජාතික ජන බලවේගය වෙතය. එය 61.56%කි.


මීට පෙර මෙරට ඉතිහාසයේ වැඩිම ඡන්ද සංඛ්‍යාව වන ඡන්ද 6,853,690ක වාර්තාව පිහිටුවා තිබුණේ 2020දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසිනි. එම වාර්තාව මෙවර ජාතික ජන බලවේගය විසින් බිද දමා තිබේ. මීට පෙර 2010දී එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් 60.33%ක් වු වැඩිම ඡන්ද ප්‍රතිශතය වාර්තා කර තිබිණි. ජාතිවාදය අවුලවමින් ආගම්වාදය පතුරවමින් අපරධ, රැවටීම් හා මැතිවරණ දූෂණ සිදුකර ලබා ගත් මෙම ඡන්ද ප්‍රමාණය සැබෑ ජනමතය ප්‍රකාශ කිරීමේ ප්‍රතිඵලය ලෙස සැලකිය නොහැකිය. 


එමෙන්ම මහ මැතිවරණයක වැඩිම දිස්ත්‍රික්ක ගණනක් ජයග්‍රහණය කිරීමටද මෙවර ජාතික ජන බලවේගයට හැකි විය. ඒ මඩකලපුව දිස්ත්‍රික්කය හැර සෙසු මැතිවරණ දිස්ත්‍රික්ක 21ම ජයග්‍රහණය කරමිනි. මෙම තත්වය තුළ මෙම මහ මැතිවරණය කේවල ක්‍රමය යටතේ පැවැත්වූයේ නම් මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ විපක්ෂ නියෝජනයක් නොමැති පාර්ලිමේන්තුවක් බිහිවිම අනිවාර්යය. ඒ අනුව ගත්කළ මෙරට ධනපති පන්තිය පාර්මේන්තුව තුළ යන්තමින් තම ජාමබේරා ගනු ලබන්නේ 78 ආණ්ඩුකුමය තුළ සමානුපාතික ඡන්ද ක්‍රමයට අනුව බව පැහැදිලිය. මීට පෙර 2010දී එක්සත් ජනතා නිදහස් සන්ධානය දිස්ත්‍රික්ක 19ක් දිනාගනිමින් තැබු වාර්තාවද ඒ අනුව බිඳ දමා තිබේ.  

එමෙන්ම ජාතික ජන බලවේගය මෙරට මහ මැතිවරණයකදි ජයගත් වැඩිම ඡන්ද කොට්ඨාස ගණනේ වාර්තාව පිහිටුවීමටද සමත් විය. එය ඡන්ද කොට්ඨාස 152ක් වන අතර මීට පෙර 2010දී එක්සත් ජනතා නිදහස් සන්ධානය කොට්ඨාස 136ක් හිමි කරගෙන තිබුණි. එමෙන්ම 2020දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 128ක් දිනා ගනිමින් පිහිටුවා තිබු වාර්තාවද බිඳ දමමින් ජාතික ජන බලවේගය දිස්ත්‍රික් මට්ටමින් දිනාගත් වැඩිම ආසන ගණන වන ආසන 141ක් දිනා ගැනීමට මෙවර සමත් විය. ජාතික ලැයිස්තු ආසන 18ක් හිමි කරගනිමින් මහ මැතිවරණයකදි වැඩිම ජාතික ලැයිස්තු ආසන ගණනක් හිමිවු පක්ෂය බවටද ජාතික ජන බලවේගය ඉතිහාස ගත වේ. ඒ මීට පෙර 2020දී පොදුජන පෙරමුණ ලබාගත් ජාතික ලැයිස්තු ආසන 17 වාර්තාව ද බිඳ දමමිනි. ඒ අනුව 159ක් වන මහමැතිවරණයක ජයග්‍රහණය කළ වැඩිම ආසන ගණන ලබාගැනීමට ජාතික ජන බලවේගයට හැකි ව තිබේ.

මීට පෙර 2020දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිව තිබුණේ ආසන 145ක් පමණි. සමානුපාතික ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවේ ආසන 225න් 2/3ක් ආසන තනි පක්ෂයක් විසින් දිනාගත් පළමු අවස්ථාවද මෙය වේ. එමෙන්ම තනි පක්ෂයක් ලෙස මුළු රටේම මැතිවරණ දිස්ත්‍රික්ක 22න්ම මන්ත්‍රීවරු ධුර දිනා ගත් ආණ්ඩුව ලෙසද ජාතික ජන බලවේගය ඉතිහාස ගත වේ. පැවති 2020 මහ මැතිවරණයේදී පොහොට්ටු පක්ෂයට උතුර නැගෙනහිර සහ වතු කම්කරු ජනතාව අතර ජයග්‍රහණය හිමිවූයේ නැත.

ප්‍රධාන පෙලේ රූපවාහිනී නාලිකා 3ක් එම මතය නියෝජනය කරන මුද්‍රිත මාධ්‍ය රැසක් සහ යූටියුබ්, ෆේස්බුක් ජාල මෙහෙයවන කුලි ප්‍රචාරක කල්ලි රැසක් එක්ව ජාතික ජනබලවේගයට එරෙහිව ක්‍රියාත්මක වෙද්දි ජාතික ජනබලවේගයේ ප්‍රචාරක යාන්ත්‍රණය ජනතාව අතට ගනු ලැබිය.

මෙම ස්වේඡ්චා  ජනතා ක්‍රියකාරීත්වය  හමුවේ දැවැන්ත මාධ්‍ය ආයතන වල මිලියන ගණන් වැයකළ ප්‍රචාරක ව්‍යාපෘති බිමට සමතලා විය. ජනතාව ජාතික ජනබලවේගය වටා එක්වෙමින් තමන්ම ප්‍රචාරක කටයුතු වල නිරතවීම පිටතින් බලා සිටින්නෙකුට ඉතාම අපූරු ආශ්වාදයක් ලබාදුන් අතර ජාතික ජනබලවේගයට වැඩි ජනතා ආකර්ශණයක් එක් කිරීමට මෙම ප්‍රචාරක ක්‍රියාවලිය හේතුවක් විය.

කෙසේ වෙතත් මෙම විශිෂ්ඨ ජයග්‍රහණය පසුපස මෙරට දහස් ගණනක් මවුවරුන්ගේ හා පියවරුන්ගේ කඳුලින් පෙගුන ඛේදනිය සිදුවීම් තිබේ. දින ගනන් නිරාහාරව සටන්කර අත්අඩංගුවට පත්ව, වධකාගාර වල වේදනා විදිමින් වතුර පොදක්වත් නෙලැබ මියගිය සහෝදර සහෝදරියන්ගේ දහඩිය ලේ වේදනාවන් සහ කැපකිරීම් මුසුවී තිබේ. සතුරා උමතුකල මෙම පරාජය මෙම අමිල කැපකිරීම් මත ලැබූ ජයග්‍රහණයයි. එනිසා අපි කැප කිරීම් දෙස ආපසු හැරි බලමු. එය අපිට තවත් බොහෝ දේ උගන්වනු ඇති. 

ධනූ රාමවික්‍රම

More news>>>

Latest Articles