-නායක බණ්ඩාර-
ඩුබායි රාජ්‍යයට ශ්‍රී ලංකාවෙන් ගෘහ සේවිකාවන් පිටත් කර යැවීම ජනවාරි 05 වැනි දා වනවිට යළි ඇරඹෙන බව එමිරේට්ස් හි ශ්‍රී ලාංකික විදේශ රැකියා නියෝජිතයන්ගේ සංවිධානය (ACFEA) පවසයි.
කොළඹ නිපෝන් හෝටලයේ අද(01) පැවැති මාධ්‍ය හමුවක දී එම සංවිධානය මේ බව අනාවරණය කළේය.
ACFEA සංවිධානය පැවසූවේ පසුගිය 28 වැනි දා තම සංවිධානයේ නියෝජිතයන් සමග විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී එහි සාමාන්‍යාධිකාරීවරයා විසින් විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඉදිරියේ දී මේ බව සඳහන් කළ බවයි.
මෙහි දී විදේශ රැකියා අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ දිගින් දිගටම කාන්තාවන් නුපුහුණු ශ්‍රමිකයන් ලෙස විදෙස්ගත කිරීම තම අපේක්ෂාව නොවන බවයි. ඉදිරියේ දී ඒ වෙනුවට පුහුණු ශ්‍රමිකයන් විදේශ රැකියා වෙළඳපළ වෙත යැවීමටත්, වැඩි වශයෙන් පිරිමි පාර්ශ්වයට එම අවස්ථාව ලබා දීමටත් අමාත්‍යවරයා කටයුතු කරමින් සිටින බව ද එම සාකච්ඡාවේ දී පෙන්වා දී ඇත.
ඉකුත් නොවැම්බර් 11 වැනි දා සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී සංචාරක වීසා මගින් ඩුබායි රාජ්‍ය වෙත යෑම සම්පූර්ණයෙන් නවතා දැමිණි. ඒ විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ හදිසි තීරණයක් මත ය.
කෙසේ වෙතත් ACFEA සංවිධානය පෙන්වා දෙන්නේ එමගින් සිදු වූයේ මෙරට කාන්තාවන් නීත්‍යනුකූලව විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් මෙරටට ලබා දුන් විශාල විදේශ විනිමයක් නැවැතී යෑම පමණක් බවයි. ඒ හැර සංචාරක වීසා මගින් රැකියා සඳහා ඩුබායි රාජ්‍යයට නීති විරෝධීව පිටත්ව යන පිරිසට හෝ එම ජාවාරමේ නිරත පිරිසට එයින් කිසිදු බලපෑමක් සිදු නොවූ බව ද එම සංවිධානය අවධාරණය කරයි.
තවද, ඩුබායි රාජ්‍යය වෙත ගෘහ සේවිකාවන් සපයන එකම රට ශ්‍රී ලංකාව නොවන බව පෙන්වා දුන් ACFEA නියෝජිතයන් පැවසූවේ උගන්ඩා, ගානා, මියන්මාර්, ඉතියෝපියා, කෙන්යා, නේපාලය, පිලිපීනය, ඉන්දුනීසියා, වියට්නාම්, නයිජීරියා ඇතුළු තවත් බොහෝ රටවලින් ඩුබායි වෙත ගෘහ සේවිකාවන් ලෙස කාන්තාවන් විශාල ප්‍රමාණයත් මේ වනවිටත් පැමිණෙමින් සිටින බවයි. එසේම ඔවුන් ඩුබායි වෙත පැමිණෙන්නේ සංචාරක වීසා මගින් බවද ඔවුන් අවධාරණය කරයි. එබැවින් ශ්‍රී ලංකාව ඩුබායි රාජ්‍යය වෙත ගෘහ සේවිකාවන් යැවීම අත්හැර දමා තිබුණහොත් සිදුවන්නේ තම සාමාජිකයන්ටද වෙනත් රටවල් සමග තම ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යෑමට බව ACFEA නියෝජිතයන් පෙන්වා දෙයි. එමීර් රාජ්‍ය තුළ ශ්‍රී ලංකාවේ ගෘහ සේවිකාවන් හට හොඳ ඉල්ලුමක් තිබුණත් එම හාම්පුතුන් තම ගෘහ සේවිකාවන් ලෙස වෙනත් රටවල කාන්තාවන් තෝරා ගැනීමට මෙලෙස පෙළඹුණහොත් ඉදිරියේ දී ශ්‍රී ලංකාවට ඇති අවස්ථාව අහිමිවනු ඇති බවද එමිරේට්ස් රැකියා නියෝජිතයන් පෙන්වා දෙයි.
ඊට අමතරව සංචාරක වීසා මත පුද්ගලයන් වෙනත් රටවලට රැකියා සඳහා යෑම සහ, සංවිධානාත්මකව පිටත් කර යැවීම නැවැත්වීමට ශ්‍රී ලංකාවේ සංක්‍රමණික පද්ධතිය ඩිජිටල්කරණයට ලක්කළ යුතු බව ද ACFEA සංවිධානය පෙන්වා දෙයි. එය කඩිනම් කර මෙරට මිනිස් ජාවාරම නවතා දැමීමට වහාම මැදිහත් වන ලෙස එම සංවිධානය විදේශ රැකියා අමාත්‍යවරයාගෙන් ඉල්ලයි.
කෙසේ වෙතත් ඩුබායි රාජ්‍යෙයන් මෙරටට ලබා දෙන එක් රැකියා ඇබෑර්තුවකට වරකට කාන්තාවන් 05 දෙනෙකුගේ සීමාවක උපරිමයකට යටත්ව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි කොට කාන්තාවන් විදෙස්ගත කිරීමට මෙහි දී අනුමැතිය ලබා දෙනු ඇති බව ද ACFEA සංවිධානය අවධාරණය කරයි. එම කාන්තාවන් ඩුබායි රාජ්‍යයට ගොස් හාම්පුතුන් වෙත භාර දී ඊට අදාළ සියලු ලේඛන සම්පූර්ණ කර උඩුගත කිරීමට දින 45ක කාල සීමාවක් ලබා දීමට ද නියුක්ති කාර්යාංශය මෙහි දී එකඟ වී ඇත. එමගින් ඩුබායි රාජ්‍යයට විදෙස්ගතවන කාන්තාවන් ඕමාන් ඇතුළු වෙනත් රටවලට ජාවාරම් කිරීම ද වළක්වා ගතහැකි බව ACFEA සංවිධානයේ මතයයි.
ඒ අනුව ඉදිරියේ දී නැවත ආරම්භ වන ඩුබායි ගෘහ සේවිකා ව්‍යාපාරය දැඩි නීති රීති සහ රාජ්‍ය නියාමනය යටතේ පවත්වාගෙන යෑමට තම සංවිධානය එකඟතාව පලකළ බව ACFEA සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙයි.